Saturday, March 7, 2015

රටවල් දෙකක් නියෝජනය කිරීමේ වාසනාව අහිමි වූ ශ්‍රී ලාංකිකයා


ශ්‍රී ලංකා ටෙස්ට් වරම් හිමිවූ වසරට පෙර මෙරටින් ජාත්යයන්තර මට්ටමේ පළමුපෙළ තරග නියෝජනය කල ක්‍රීඩකයින් සිටියා. දොස්තර ගුණසේකර, ස්ටැන්ලි ජයසිංහ වැනි ප්‍රවීණ එංගලන්ත පළමුපෙළ නියෝජනයන් අතර 70 දශකයේ මැද භාගයේ වන්නට එක් ක්‍රීඩකයෙක් එංගලන්තයේ පළමුපෙළ කණ්ඩායමක් වන සසෙක්ස් පිල නියෝජනය කරමින් වෳර්තීය ක්‍රීකට් ක්‍රීඩාවට පිවිසුනා.
ගිහාන් ඩික්සන් මෙන්ඩිස් හෙවත් ගිහාන් මෙන්ඩිස් ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙක් ලෙස එංගලන්තයේ ප්‍රකටව සිටි ශ්‍රී ලාංකිකයෙක්. 1968 වසරේදී එනම් ඔහු 12 වන වියේදී එංගලන්තයට සංක්‍රමණය වූ ගිහාන් එරට පාසල් මට්ටමේ ක්‍රීකට් හෙවත් Minor cricket තරග නියෝජනය කරමින් ක්‍රීඩාවට පිවිසි අයෙක්. 1973 වසරේදී එංගලන්ත ප්‍රාන්ත අතර පවත්වන සීමිත ඕවර තරගාවලියට සසෙක්ස් පිල නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට වරම් ලැබෙන ගිහාන් මෙන්ඩිස් එම තරගයේදී ලකුණු 15ක් නොදැවී ලබාගත්තේ අංක 8 පිතිකරුවා වශයෙන්. මුල් අවධියේදී යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කලද 1978 වසරේදී සසෙක්ස් පිලේ ආරම්භක පිතිකරු ලෙස ඔහුට ලබාදුන් අවස්තාව ඔහුගේ ක්රි කට් දිවියේ විශිෂ්ටතම මොහොත ලෙස නම් කල හැකියි.
1974 වසරේදී වොර්සේස්ටර්ශයර් පිලට එරෙහිව පළමුපෙළ වරම් දිනාගත් ගිහාන් එම තරගයේදී ලබාගත්තේ එක ලකුණක් පමණයි. කෙසේ වෙතත් ඔහු සසෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කල අවසන් අවධියේදී පකිස්තාන පිලට එරෙහිව තරග වැදුණු ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩකයින් 11 පිල නියෝජනය කිරීමේ අවස්තාව හිමිවුණා. පවත්වන ලද පළමු තරගයෙන්ම ප්‍රබල පකිස්තාන පන්දුයවන්නන් හට දිගට හරහට පහර දෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ලකුණු 124ක් රැස්කර ගත්තේ මිනිත්තු 380ක් වැයකරමින්. එම තරගයේ දෙවන ඉනිමේදී ද ලකුණු 44ක් රැස්කරන ගිහාන් ගේ එම පිතිහරඹය සියල්ලන්ම පැසසුමට ලක් කල එකක් වුනා.
සසෙක්ස් පිල වෙනුවෙන් වසර 12ක් තුල ලකුණු 11,337ක් වාර්තා කල ගිහාන් ගේ පිතිකරණ සාමාන්‍යය 34.99ක් වු අතර එයට ශතක 22ක් ඇතුලත්ව තිබුනා. ඔහු 1986 වසරේ සිට 1993 වන තෙක් ලැන්කෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟ වැදුණු අතර එහිදීද සුපිරි දස්කම් දක්වමින් ලකුණු 9,673ක් රැස්කල අතර එය ශතක 18 කින් වර්ණවත්වී තිබුනා. ලැන්කෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කරමින් ඔහු පවත්වාගෙන ගිය සාමාන්‍යය 39.16ක් වුනා. 
1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව (එවකට ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිව තිබුනේ නැත) නියෝජනය කරන ලෙස ඔහුට ඇරයුම් ලැබුනත් එය ඔහුගේ වෘර්තිමය ප්‍රාන්ත ක්‍රීකට් දිවියට බාධාවක් විය හැකි බැවින් එය ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් ඔහු 1981 දී නොටින්හැම් හිදී ශ්‍රී ලංකා පිලට එරෙහිව ටෙස්ට් සහ ප්‍රාන්ත ක්‍රිකට් ආයතන පිල නියෝජනය කරමින් ලකුණු 65ක් රැස්කරගත් අතර එය එවකට සිටි එංගලන්ත තේරීම් කමිටුව විසින් ඔහුට ලබාදුන් එකම අන්තර්ජාතික තරග අවස්ථාවයි.
ඔහු ගැන විස්ඩන් සගරාව අවස්ථා දෙකකදී ඔහුගේ විශිෂ්ටත්වය පහත අයුරින් සදහන් කරනවා,
"Paul Parker and Gehan Mendis were the leading run getters and likely, though unsuccessful candidates for the tour of India. Mendis, a dashing batsman, gave Sussex one enterprising stand after another, relishing fast bowling and being no respecter of reputations''.
"Barclay and Mendis proved a dependable opening pair. Mendis was particularly impressive against fast bowling and played some gritty innings against speed merchants of the hostility of (Wayne) Daniel of Middlesex, hurling the ball down the Hove slope. Mendis fractured a thumb shortly before the Gillette Cup final and it was broken again in the third over of his innings at Lord's, but he battled on with Barclay to give his side a great start''.
ගිහාන් මෙන්ඩිස් හට එංගලන්ත පිල නියෝජනය කිරීමේ අවස්තාවක් ආසන්නයටම පැමිණිය නමුත් එයත් වියැකී ගියේ ය. 1982 දී තහනම් අප්‍රිකානු සංචාරය නිසා වසර තුනක ක්‍රිකට් තහනමකට ලක්වූ ගුච්,බොයිකොට්, ලාකින්ස්, වුල්මර් සහ අමිස් වැන්නන්ගෙන් හිස්වූ එංගලන්ත පිතිකරණ ලයිස්තුවේ අඩුපාඩුව පිරවමිට ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයින් අතර ගිහාන් ද සිටියා. ග්‍රේහැම් ගුච් පැවසුවේ ගිහාන් යනු වේගපන්දු යවන්නන් හට හොදින් ප්‍රහාර දියත් කරන එංගලන්ත පිලට පැමිණිය යුතු ඔහු වඩාත්ම ප්‍රියතම ක්‍රීඩකයා ලෙසට යි.
"Gehan has impressed me as a very good player of fast bowling and the one I Iike to see come in. I like the way he plays and thought he would be picked for England".
1985 පළමුපෙළ තරගවාරය ගිහාන් අතිවිශිෂ්ට දස්කම් දැක්වූ වසරක් වුනා. එහිදී තරග සාමාන්‍යය 47.45ක් රදවා ගනිමින් ලකුණු 1756ක් රැස්කළේ ශතක 6ක් ඇතුලත් කරගනිමින්. එයින් 4ක් ඔහු රැස්කරගත්තේ ඉනිම් 6ක් තුල වීම විශේෂත්වයක් වූ අතර ඔහුට එම ඉනිම් 6 තුල ඔහුගේ 5 වන ශතකය රැස්කරගනිම්ට නොහැකිවුනේ සසෙක්ස් නායකයා ජෝන් බාර්ක්ලේ ඔහු නොදැවී ලකුණු 96ක් රැස්කරගෙන තිබු අවස්තාවක ඉනිම අත්හිටුවීමට තීරණය කල නිසා. පළමුපෙළ ඉතිහාසයේ එක ළඟ ඉනිම් 6ක් තුල ශතක 5ක් රැස්කළ ක්‍රීඩකයින් අතලොස්සෙන් එකෙකු වීමේ අවස්තාව අහිමි වූ නිසා සිත්තැවුලට පත් ගිහාන් එදින සවස ඔහු සසෙක්ස් ප්‍රාන්ත පිල හැරයන බව ප්‍රකාශ කළා.
"The Sussex captain explained that he was scheming to beat Hampshire and that a declaration was due, but Mendis was upset at missing such a rare opportunity''. - විස්ඩන්
ජාවෙඩ් මියන්ඩඩ්, ඉම්රාන් ඛාන්, කෙප්ලර් වෙසල්ස්, ටෝනි ග්‍රේග් සහ ජෙෆ් ආනල්ඩ් වැනි ශ්‍රේෂ්ටයින් සමඟ ගතකල වසර 12 ක සසෙක්ස් ප්‍රාන්ත දිවිය නිමා වුනේ ඔහුගේ ක්‍රිකට් දිවියේ හොදම වකවානුවෙදියි.
ඉහත සදහන් කල ඉනිම් 6 තුල ඔහු ලබාගත් ලකුණු මෙසේයි,
103 සහ 100* - ලැන්කෂයර් ට එරෙහිව
21 සහ 111* - වොර්වික්ෂයර් ට එරෙහිව
109 සහ 96* - හැම්ප්ෂයර් ට එරෙහිව
ගිහාන් සසෙක්ස් පිල වෙනුවෙන් ප්‍රාන්ත තරග වාර 6 කදී ලකුණු දහසේ සීමාව පසු කරා. 1980 වසරේදී ඔහු මුල්ම වරට සසෙක්ස් වර්ණ දිනාගත් විට ඔහු ගැන විස්ඩන් සගරාව විශේෂ සඳහනක් කළා. 
"Gehan Mendis somewhat belatedly received his county cap. This committed player with a liking for playing the quick bowlers, joined the talented band of batsmen who have scored double centuries when he hit 204 out of Sussex' 482 for 3 against Northamptonshire at the Saffrons''.
1984 වසරේදී සමර්සෙට් පිලට එරෙහිව ලකුණු 209ක් රැස්කරමින් ඔහු සසෙක්ස් වෙනුවෙන් වැඩිම ලකුණු ගණන රැස්කළා. මිනිත්තු 420 ක් පිටියේ රැදෙමින් 4 පහරවල් 26 කින් වර්ණවත් කල එම ඉනිම වසර 12 ක සසෙක්ස් පිල වෙනුවෙන් රැස්කළ දෙවන සහ අවසන් ද්විත්ව ශතකයයි.
1982 දී පකිස්තාන පා දඟ පන්දුයවන්නා ලෙස කටයුතු කල අබ්දුල් කදීර් ඇතුළු කණ්ඩායම සසෙක්ස් පිල සමඟ තරග වැදුනා. එහිදී සසෙක්ස් පිල ඉනිමකින් සහ ලකුණු 13 කින් පරාජය වූ අතර සසෙක්ස් පිලේ සාර්ථක වූ එකම පිතිකරුවා ගිහාන් මෙන්ඩිස් පමණයි. කදීර් කඩුලු 13ක් දවාගත් අතර ඔහු යැවූ පන්දු අපහසුවකින් තොරව පිටිය වටා පහරදෙමින් ලකුණු 48ක් සහ 114ක් බැගින් රැස්කළා.
ගිහාන් ගේ සසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් දිවියේ දී පළමුපෙළ තරග අතරින් ලබාගත් ඉහලම ජයග්‍රහණය වුනේ 1981 වසරේ ඔහුගේ කණ්ඩායම තරගාවලියේ දෙවන ස්ථානය දිනාගනිමයි. පළමුපෙළ තරග එසේවුවත් 1978 සහ 1982 සීමිත ඕවර තරගාවලින්හිදී ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණ දිනාගත් අතර ගිහාන් ඒ වනවිට සසෙක්ස් පිලේ නිත්‍ය සාමාජිකයෙක් ලෙස පත්වී අවසන්.
1993/94 වසර වන විට ලැන්කෂයර් ප්‍රාන්තය නියෝජනය කල ගිහාන් මෙන්ඩිස් ඔහුගේ සාර්ථක වසර 20 ක ක්‍රිකට් දිවිය නිමාකරද්දී උඩපන්දු 145ක් සහ එක ස්ටම්ප් කිරීමකට ද දායක වී තිබුනා.
©
Video - ගිහාන් මෙන්ඩිස් ගේ පිතිකරණය, ජිලට් කප් 1979 

No comments:

Post a Comment