Saturday, March 14, 2015

ආර්චි ට බ්‍රැඩ්මන් කෙනෙකු වීමට නොහැකි වුනේ ඇයි ???


බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියානු පිලට ඇතුළත්වූ මුල්ම යුගයේදී ඔහු නියෝජනය කල ප්‍රාන්තය වූ නිව් සවුත් වේල්ස් පිලෙන් තවත් යොවුන් ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියානු ජාතික පිලට පැමිණියා. ඔහුගේ ක්‍රිකට් දිවිය දිගු වුනා නම් අද වනවිට ක්‍රිකට් වාර්තා පොත් අතර ඔහුද ඉහලම ස්ථානයක රැඳී සිටින්නට ඉඩ තිබුනා. නමින් ආර්චි ජැක්සන් වූ ඔහු වයසින් බ්‍රැඩ්මන් ට වඩා වසරකින් ලාබාල වුවත් ඕස්ට්‍රේලියානු පිලට පැමිණීමට මුලින්ම හැකිවුණේ ආර්චිටයි.
ආර්චි ගේ පළමුපෙළ ආරම්භය අර්ධ ශතකයින්ද ඉන් පසුව ශතකයින්ද වර්ණවත් වූ අතර එවිට ඔහුගේ වයස 17ක් පමණක් වුනා. නිව් සවුත් වේල්ස් පිලට ක්‍රීඩා කිරීමෙන් මාස 11 කට පසු එනම් 1928/29 වසර තුල ඔහුට එංගලන්ත පිල සමග ක්‍රීඩා කිරීමට සිදුවුනේ ඕස්ට්‍රේලියානු වර්ණ ඇතිවයි. එම තරගාවලියේදී ලකුණු 468ක් රැස්කරන ආර්චි ගේ පිතිකරණ සාමන්‍යය වුනේ 66.85 යි. එම තරගාවලියේදී ඔහුට දෙවන ටෙස්ට් තරගය අහිමිවුණේ කණ්ඩායමට ඇතුලත් නොකිරීම නිසාවෙනුයි.
සිවුවන ටෙස්ට් තරගෙදි ඔහුව ඇතුලත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලකයින්ට සිදුවුනේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි උවමනාව සහ ඉල්ලීම නිසා. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ලෙස එම තරගයට පැමිණි ආර්චි ට එක අන්තයක සිටියදී අනෙක් අන්තයෙන් කඩුලු තුනක්ම බිඳ වැටුනේ ලකුණු 19ක් පමණක් රැස්කරගෙන තිබියදී. එහෙත් සාර්ථක ජෙය්ෂ්ට ක්‍රීඩකයෙක් ගේ භූමිකාවක් පෙන්නුම් කල ආර්චි විශිෂ්ට ලකුණු 164ක් රැස්කරන්නේ එංගලන්ත වේග පන්දු යවන්නන් වූ ලාවුඩ් සහ මොරිස් ටෙට් ව විමතියට පත්කරමින්. ආර්චි ගේ ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් තරග 8ක් ඇතුලත්ව තිබු අතර ඔහුගේ 9 වන ටෙස්ට් තරගය ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් කතාබහට ලක්වූ 1932/33 බොඩිලයින් තරගාවලිය වීමට බොහෝදුරට ඉඩ තිබුනා.           


1930 වසරේදී එංගලන්ත සංචාරයට නික්මෙද්දී සිඩ්නි මොර්නින්ග් හෙරාල්ඩ් පුවත්පත ඔහු එම කාලයේ දක්ෂතම පිතිකරුවා ලෙස ප්‍රචාරය කළා. බ්‍රැඩ්මන් ද කණ්ඩායමේ සිටිය බැවින් සියල්ලන්ගේම දෑස් යොමුවුණේ මෙම පිතිකරුවන් දෙපල වෙතයි. ආර්චි ගේ ක්‍රිකට් දිවිය වඩාත් වර්ණවත් කාල සමයක පවතිද්දී ඔහු රෝගයකින් පෙළෙන්නට වුනා. නමුත් එවැන්නක් තිබියදීත් එය නොසලකා හරිමින් ඔහු දක්ෂතා අතර නිතරම රැඳී සිටියා. 
ආර්චි හොදින්ම ක්‍රීඩා කරමින් සිටියදී ඔහුව අපහසුතාවයට පත්කරමින් ඔහු තවතවත් රෝගාතුර වන්නට වුනා. 1931 වසරේදී කොදෙව්වන්ට එරහිව පවතී ටෙස්ට් තරගාවලියේදී අසාර්ථක වූ බැවින් කණ්ඩායමෙන් එලියට විසිවී ගියා. 1931/32 දී නිව් සවුත් වේල්ස් පිලේ මුල්ම තරගයට එක්කරගත් අතර වර්ෂාවකට හසුවීමෙන් අසාධ්‍ය වූ ආර්චි කැස්සක් සමග රුධිරය පිටවෙමින් හෝටල් කාමරය තුල ඇදවැටුන නිසා ඉක්මනින් රෝහල්ගත කිරීමට බලධාරීන් සමත්වුනා. එය එතරම් සැලකියයුතු මට්ටමේ දෙයක් නොවන නිසා රෝහලෙන් පිටත්වීමට ආර්චිට හැකිවුනා.
1932 දී ඔහු කුවින්ස්ලන්ඩ් දෙසට ගියේ ඔහුගේ රෝගයට උණුසුම් දේශගුණය වඩාත් සුදුසු බව විශ්වාස කල නිසයි. එහිදීම ඔහුට පුහුණුකාර ධුරයක් ලබාගැනීමට හැකිවුනා. තරුණ වයසේදීම එවැන්නක් ලැබීම තරමක් පුදුමයට කරුණක් වුවත් ඔහුගේ හැකියාවට අනුව එය වඩාත් සුදුසු වුනා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්නොහරින ලද ආර්චි බ්‍රිස්බේන් හි නොර්ත්ර්න් සබ්‍ර්බ්ස් පිලට ක්‍රීඩා කල අතර එහිදී සුපිරි දස්කම් දක්වමින් ඉනිම් 7 කදී පිතිකරණ සාමාන්‍යය 159.66 ක් ලෙස රඳවා ගත්තා. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පවතිද්දී පෙර අයුරින් කඩුලු අතර දිවීම ද අපහසු වෙන්නට වුනා.
ඔහුගේ මෙම පිතිකරණයත් සෞඛ්‍ය තත්වයත් දකින ලද ක්‍රීඩකයෙක් පසුකාලීනව ප්‍රකාශ කලේ මෙලෙසයි,
"delightful in his stroke-making , but pathetic to witness his suffering".
ඔහු ඩේලි මේල් පුවත්පතටද විවිධ ලිපි ලියමින් ඔහුගේ ක්‍රිකට් දැනුම බෙදාගත් අතර ඔහුගේ එකම විශ්වාසය සහ ඉලක්කය වුනේ 1934 එංගලන්තයේ ඕස්ට්‍රේලියානු සංචාරය සදහා ඕස්ට්‍රේලියානු පිලට නැවතත් එක්වීමයි. ඔහුගේ මුල්ම ටෙස්ට් තරගයෙන් වසර 4කට පසු එනම් එම වසරේ පෙබරවාරි 1 වන දින ඔහුගේ රෝගය උත්සන්න වීමෙන් ක්ලාන්ත වී ඇදවැටීමෙන් නැවතත් රෝහල්ගත වුනා. එහිදී වාර්තා වන්නවුයේ ඔහුට ක්ෂය රෝගය බරපතල ලෙස වැළඳී ඇති බවයි. පෙබරවාරි මස 10 වන දින ඔහුගේ පිලේ ක්‍රීඩකයින් රෝහල කරා පැමිණියේ ඔහු දින කිහිපයකින් මිය යන බවට තහවුරු වූ බැවින්. ඒ වනවිට ටෙස්ට් තරගයද අරඹා තිබු අතර ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියා. එය දැනගත් ආර්චි එංගලන්ත වේග පන්දුයවන්නා වූ ලාවුඩ් ට ටෙලිග්රෑමයකින් සුභ පැතීමක් කළා."Congratulations magnificent bowling. Good luck all matches."

ඔහුගේ සෞඛ්‍ය තත්වය නොසතුටුදායක තත්වයක තිබියදීත් ඔහු ටෙස්ට් තරගයේ ලකුණු තත්වයට වඩාත් උනන්දුවක් දැක්වුවා. රාත්‍රී 12.00 ට පමණ ඔහු තරගයේ ලකුණු තත්වය විමසු අතර ඔහුට දැනගන්නට ලැබුනේ ඕස්ට්‍රේලියානු පිල පරාජයකට මුහුණ දෙමින් සිටින බවයි. ඉන් විනාඩි කිහිපයකට පසු ඔහු මියගියා. ඒවනවිට ඔහුගේ වයස අවුරුදු 23ක් පමණයි.
දෙපිලේම ක්‍රීඩකයින් ඉන්පසු දිනයේදී පිටියට පැමිණියේ කළු පැහැති පටියක් අතෙහි බැඳ ශෝකය පළකරමින්. ඕස්ට්‍රේලියානු පිල තරගයෙන් පරාජය වූ අතර ආර්චි ජැක්සන් යොවුන් වයසේදීම මෙලොවින් සමුගත්තා.
©

No comments:

Post a Comment