Friday, March 13, 2015

කෙන්ට් පිලේ සටන්කරුවා



එංගලන්ත පළමුපෙළ සහ සීමිත ඕවර තරගාවලි වඩාත් ජනප්‍රිය වීමට හේතුව විය හැක්කේ ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන විවිධ රටවල් අතුරින් සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් පැමිණීමත් මාස 3 – 4 ක් පමණ වනතෙක් තරගාවලිය පැවැත්වීමත් නිසා. විවිධ ප්‍රාන්ත ක්‍රිකට් සමාජ එක්වන ඕවර 55 තරගාවලියක් 1995 දී පැවැත්වුනේ බෙන්සන් සහ හෙජ්ස් අනුග්‍රාහක නාමය යටතේ. මේ අනුව කණ්ඩායම් සියල්ලම කාණ්ඩ 4 කට වර්ගීකරණය කිරීමට සංවිධායකයෝ සුදානම් වූ අතර එම කණ්ඩායම් අතරට අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් දෙකත් ඇතුලත් විනි. මෙම ලිපියේ කතා නායකයාගේ පිල එනම් කෙන්ට් පිල ඩි කාණ්ඩයෙන් තරගාවලියට පැමිණියා.
කෙන්ට් ප්‍රාන්ත පිල මුලින්ම පටන් ගත්තේ 1842 දී. එම ශතවර්ෂය තුල කෙන්ට් නමින් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් පැවතියත් 1870 දී එම කණ්ඩායම් දෙක එනම් කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සහ බෙවර්ලි කෙන්ට් ක්‍රිකට් සමාජ පිල ඒකාබද්ධ වුනා. ඇලන් නොට් , ආතර් ෆීල්ඩර්, අසීෆ් ඉක්බාල් වැනි දැවැන්ත ක්‍රිකට් ප්‍රතිරූපයන්ගෙන් සමන්විත වු කෙන්ට් පිලේ 1995 වනවිට දක්ෂ පිතිකරුවන් ලැයිස්තුවකින් වර්ණවත් වී තිබුනා.
තරගාවලිය ආරම්භ වීමට පෙර පවතී පළමුපෙළ තරගාවලියට වර්තමාන ශ්‍රී ලංකා පිලේ නැංගුරම වන කුමාර් සංගක්කාර ට අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරුවා සහ පහසුවෙන්ම හුක් පහරකින් 6ක් එල්ල කල හැකි පිතිකරුවා වන අරවින්ද ද සිල්වා ද ඇතුලත්ව සිටියා. පළමුපෙළ තරගාවලිය තුල සුපිරි දස්කම් දැක්වූ ඔහුගේ සාමන්‍යය 59.36ක් වූ අතර මුළු ලකුණු 1781ක් රැස්කර කෙන්ට් පිලේ ලකුණු අතර සිටි එකම ක්‍රීඩකයා බවට ඔහු පත්වුනා. ඊට හේතුව වුනේ අනෙක් ක්‍රීඩකයින් සියල්ලම දස්කම් නොදැක්වීමත් ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා කෙන්ට් පිල එම වසරේ ක්‍රිකට් සමාජ අතුරින් අවසන් ස්ථානය හිමිකරගැනීමයි.
එසේ සිදුවුවත් ඕවර 55 තරගාවලියේදී මෙයට හාත්පසින්ම වෙනස් ප්‍රතිපල කෙන්ට් ප්‍රාන්ත පිල විසින් පෙන්නුම් කළා. ඔවුන් ඩී කාණ්ඩයේ පෙරමුණ ගත්තේ සමර්සෙට්,සරේ,සසෙක්ස් වැනි ප්‍රබල සමාජ පසෙකට දමමින්. අවසන් පූර්ව තරගයේදී නැවතත් සමර්සෙට් පිල සමග තරග කල කෙන්ට් පිලේ මැදපෙළ ශක්තිමත් කිරීමට අරවින්ද සහ එල්හාම් සමත් වුනා. එම තරගය ජයගැනීමට කෙන්ට් පිල සමත් වූ හෙයින් ඔවුන්ට අවසන් තරගය සදහා ලැන්කශයර් පිල සමග තරග කරන්නට සිදුවුනා. බෙන්සන් සහ හෙජස් ශූරතාවය සදහා මුලින්ම පිටියට පැමිණි ලැන්කෂයර් පිල පන්දුවාර 55 අවසානයේදී ලකුණු 274 ක් රැස්කරගත්තා. ඒ සදහා ඇතර්ටන් සහ ක්‍රව්ලි අර්ධ ශතක රැස්කලා. 
ලකුණු 275 ක ඉලක්කයක් උදෙසා කෙන්ට් පිලේ ෆුල්ටන් සහ වෝඩ් පැමිණියත් දෙදෙනාම ලකුණු 37 අතරතුරදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලැන්කෂයර් වේග පන්දුයවන්නා වූ ග්ලෙන් චැපල් සමත් වුනා. නො 3 පිතිකරු ලෙස කටයුතු කල නීල් ටේලර් සමග එක්වීමට පැමිණියේ මැඩ් මැක්ස් නොහොත් අරවින්ද යි. අනෙක් අන්තයේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී අරවින්ද තනිවම සටන් කලේ කෙන්ට් පිලට ශූරතාවය ලබාදෙන්නයි. 6 පහර 3ක් සහ 4 පහර 11ක් එල්ල කරමින් අරවින්ද වසීම් අක්රම්, චැපල්, ඔස්ටින් වැනි පන්දුයවනන්නන් හට දිගට හරහට පහරදුන්නේ ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් සියල්ලම මවිතයට පත්කරමින්.
ලකුණු 112ක් ලබා සිටියදී අරවින්ද දැවී යන අතර කෙන්ට් පිලේ ජයග්‍රහණ බලාපොරොත්තුවද එතැනින්ම නිමා වුනා. විස්ඩන් සඟරාවේ සඳහන් වන අන්දමට කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහල අගයක තබා ගැනීමට ඔහු උපරිම උත්සාහය ගත බවත් ඔහුගේ සහයට කිසිවෙකු නොසිටීම කෙන්ට් පිලේ පරාජයට හේතුවූ බවත් සදහන් කර ඇත. සීමිත ඕවර තරගාවලිය එසේ නිමා වුවද පළමු පෙළ තරගාවලිය අවසන්ව නොතිබුනත් අරවින්ද ට ශ්‍රී ලංකා පිල සමග එක්වීමට සිදුවුනේ එම වසරේදීම පකිස්තාන තරගාවලියක් සදහා යා යුතුව තිබු බැවින්.
ඔහු කෙන්ට් පිල අතහැර ශ්‍රී ලංකාවට පැමිණිම ගැන ඔහුගේ කණ්ඩායමේ සගයන් පැවසුවේ මේ අයුරින්.
"I cannot believe any player, anywhere, has been so popular" - ග්‍රෙහැම් කවුඩ්‍රි
"Ari was an inspiration to me and the whole side felt the same. When he packed his bags, he hugged each of us and I have never known a professional sports team so close to tears." - ඉවෝ ටෙනන්ට්
ලැන්කෂයර් පිල ශූරතාවය දිනාගත්තද අවසන් තරගයේ වීරයා වීමට අරවින්දට හැකිවුනා.
©
Video clip - Kent's Innings
https://www.youtube.com/watch?v=BXzktmwSngo

Pics by - Getty Images

No comments:

Post a Comment