Tuesday, March 10, 2015

ක්‍රිකට් ඉතිහාසයේ, පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත වූ අවස්ථා






ජෝන් විල්ස් - කෙන්ට් පන්දුයවන්නෙක් වන මොහු මුල්ම වරට උරහිසට ඉහලින් පන්දු යැවීම හදුන්වා දුන් පුද්ගලයයි. 1822 දී MCC යට එරෙහිව පන්දු යවද්දී විනිසුරුවරුන් මොහුගේ පන්දු යැවීම අජීවී පන්දුවක් ලෙස සලකා තීරණ ලබාදෙන ලදී.


විලියම් ලිලීවයිට් 

විලියම් ලිලිවයිට් සහ ජේම්ස් බ්‍රෝඩ්බ්‍රිජ් - සසෙක්ස් කණ්ඩායම නියෝජනය කල මේ පන්දුයවන්න්නන් දෙදෙනාද ඉහත සදහන් කල අයුරින් උරහිසට ඉහලින් පන්දු යවා තහනමට ලක්වුවන්ය.
                      






එඩ්ගාර් විල්ෂර් 



එඩ්ගාර් විල්ෂර් - 1862 දී සරේ පිලට එරෙහිව ක්‍රීඩා කල එංගලන්ත පිලේ වමතින් පන්දු යවන කෙන්ට් ක්‍රීඩක විල්ෂර් වෙතට සය වරක් නිපන්දු ලෙස සලකා තීරණ ලබාදෙන ලදී. ඒ වනවිට උරහිසට ඉහලින් පන්දුයැවීම නිත්‍යානුකුල බව පිළිගෙන අවසන්.






ජෝසෆ් ෆ්රෑන්ක් - 1880 දී ලෝක ක්‍රිකට් ඉතිහාසයේ භයානකම පන්දුයවන්නෙක් ලෙස සලකන (demon) ෆ්‍රෙඩ් ස්පොෆොර්ත් ගේ ඇඟිල්ලක් බිඳ දමන අයුරින් පන්දු යැවූ දකුණත් වේග පන්දු යවන්නෙකු වන එංගලන්තයේ ජෝසෆ් ෆ්රෑන්ක් ගේ පන්දු යැවීමේ ඉරියව්වට චෝදනා රැසක් තිබුනා. ස්පොෆොර්ත් ගේ ඉවත්වීම එංගලන්තයට කඩුලු 5ක ජයක් ගෙන ආවා.

ලෝර්ඩ් හැරිස් 



ජෝන් ක්රෝස්ලන්ඩ් සහ ජෝර්ජ් නෑෂ් - දෙදෙනාම පන්දුව විසිකිරීමේ චෝදනාවට හසු වුවන්ය. මොවුන්ව ඉවත්කරන තෙක් තරගය නොපවත්වන බව පවසමින් ලෝර්ඩ් හැරිස් (හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයෙක්) තරගය අත්හිටුවා දමන ලදී.







අර්නි ජෝන්ස් 



අර්නි ජෝන්ස් සහ ටොම් මැක්බින් - අර්නි ඉතිහාසගත වෙන්නේ මුල්ම ඕස්ට්‍රේලියානු දමගසන්නා ලෙසයි. සිඩ්නි හිදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කල ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට චෝදනාව එල්ල වුනේ 1897/98 දීය. ඔහුට එම චෝදනාව එල්ල කලේ විනිසුරු ජිම් ෆිලිප්ස්. කෙසේවෙතත් 1896 දී ලෝර්ඩ් ශේෆිල්ඩ් XI පිඅලට එරෙහිව පවතී පුහුණු තරගයකදී WG ග්‍රේස් ගේ රැවුල ආක්‍රමණය කරමින් යැවූ පන්දුවක් තවමත් ඉතිහාසයේ නොමැකෙන සිදුවීම් අතරින් එකක්. එම කණ්ඩායමේම දඟපන්දු යවන්නෙක් ව සිටි ටොම් මැක්බින් ගේ ඉරියව්වද සැකසහිත එකක් බව ඉතිහාසයේ සදහන් වනවා.





CB ෆ්‍රයි 




CB ෆ්‍රයි - ජිම් ෆිලිප්ස් විනිසුරු ගේ ගොදුරට හසුවූ තවත් පන්දු යවන්නෙක් තමයි CB ෆ්‍රයි කියන පන්දුයවන්නා 1898 දී තුන්වරක් සහ 1900 දී එක්වරක් වශයෙන් ඔහුගේ පන්දුයැවීම් නිපන්දු බවට තීරණ ලබාදෙන ලදී.






ඡායාරූපයේ මැද සිටින්නේ බිල් වෝස් නමැති දක්ෂ පන්දුයවන්නායි.
මෙය ශ්‍රී ලංකාවේදී ගත් එකකි. 


බිල් වෝස් - 1932/33 බොඩිලයින් තරඟාවලියෙන් පසු ඕස්ට්‍රේලියානු විස්තර විචාරකයෙක් බිල් වෝස් පන්දුයවන්නා ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බව ප්‍රකාශ කරන ලදී. කණ්ඩායමේ සඟයා වෙනුවෙන් පෙනිසිටිමින් එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් එයට විරෝධය පලකලේය.



මොබාරක් අලි - දෙවන ලෝක යුධ සමයේ ක්‍රිකට් තරඟ පැවැත්වුනේ කලාතුරකින්. ට්‍රිනිඩෑඩ් සහ බාබඩෝස් පිල් අතර පවතී තරගයේදී ට්‍රිනිඩෑඩ් දඟපන්දු යවන්නෙක් ව කටයුතු කල මොබාරක් අලිගේ වේගවත් ඔෆ්බ්‍රෙක් පන්දු සැකසහිත බවට තීරණය කල විනිසුරු 30 වතාවක් නිපන්දු බවට ප්‍රකාශය කරන ලදී. ඔහු ලෙග්බ්‍රෙක් පන්දුයවද්දීත් එම තීරණ වල වෙනසක් නොවූ අතර පිතිකරු ඩෙරෙක් සීලි දැවීගිය අවස්ථාවේදී පමණක් එය නිපන්දුවක් නොවීම පිතිකරු පුදුමයට පත්කළ අවස්ථාවක් විය.

මධුසුදාන් රෙගේ - මහාරාෂ්ට්‍රා පිලේ ක්‍රීඩකයෙක් වන මොහු පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වූ මුල්ම ඉන්දියානුවයි. 1951/52 සංචාරක MCC පිලට එරහිව ලකුණු 133ක් රැස්කරමින් දස්කම් දැක්වූ රෙගේ ගේ පන්දුයැවීම නිත්‍යානුකුල නොවූ එකක් වුනා.

ඩග් ඉන්සෝල් - 1952 දී පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වූ අතර ඔහු එතැන් සිට ටෙස්ට් තරග තුල පන්දු නොයැවීමට තීරණය කල තුන් ඉරියව්වේ ක්‍රීඩකයෙක්.

කුවන් මැකාති - දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන මොහු 1952 දී වොසෙස්ටර් පිලට එරෙහිව පන්දු යැවීමෙන් ඉහත චෝදනාවට ලක්වූ තවත් පන්දු යවන්නෙක්.

ටෝනි ලොක්


ටෝනි ලොක් - 1952 දී ඉන්දියාවට එරෙහිව මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කල ටෝනි ලොක් එම තරගාවලියේම පුහුණු තරගයකදී විනිසුරු WF ප්‍රයිස් ගේ චෝදනාවට ලක්වූ අයෙක්. කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරගයකදී නැවතත් එම චෝදනාවටම ලක්වන ටෝනි ලොක් වෙනුවෙන් ඉදිරිපත් වූ සුපිරි පිතිකරු ලෙන් හටන් (එවකට එංගලන්ත නායක) එයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ලදී.





ඉයන් මෙකිෆ් ගේ සැකසහිත වූ ඉරියව්ව 
ඉයන් මෙකිෆ් - වඩාත් ප්‍රසිද්ධ වූ සිදුවීමක් ලෙස මෙය කිව හැක. 1958/59 අළු බඳුන තරගාවලියේ දී මොහුගේ පන්දුයැවීම නිත්‍යානුකුල නොවන බවට එංගලන්ත නායකයා පීටර් මේ ප්‍රකාශ කරන ලදී. ඔහුගේ පන්දු යැවීම දැක ඉයන් පීබ්ල්ස් නැමැත්තෙක් පැවසුවේ ඔහුගේ පන්දු යැවීම ක්‍රිකට් පුහුණුකරුවෙක් කුඩා සිසුවෙකුට පන්දුව විසිකරන්නක් මෙන් බවටය. විවිධ හැලහැප්පීම් මත මෙකිෆ් ට තවත් ටෙස්ට් තරග කිහිපයකට මුහුණ දෙන්න හැකිවුනත් 1963 දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි තරගයේ ඔහු යැවූ මුල්ම ඕවරයේ දී ඔහුගේ පන්දු යැවීම නිත්‍යානුකුල නොවන බවට විනිසුරු තීරණ ලබාදුන් අතර එය ඔහුගේ අවසාන පන්දුවාරය සහ අවසාන ටෙස්ට් තරගය බවට පත්වුනා.


ජෙෆ් ග්රිෆින් - දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නේක් වන ග්රිෆින් 1960 ලෝඩ්ස් පිටියේදී MCC පිලට එරහි තරගයේ විනිසුරුවරුන් දෙදෙනාම ඔහුගේ පන්දුයවීම නිත්‍යානුකුල නොවන නිපන්දු බවට තීරණ ලබා දෙනලද අතර නොටින්ග්හැම්ෂයර් පිල සමග පවතී තරගයේදී අවස්ථා 8 කදී නිපන්දු බවට එම තරගය විනිශ්වය කල විනිසුරුවරුන් ප්‍රකාශ කරන ලදී. ඔහු ඔහුගේ ඉරියව්ව ඇල්ෆ් ගවර් ක්‍රිකට් පාසලෙන් නිවැරදි කරගෙන එංගලන්තයට එරහිව ලෝඩ්ස් පිටියේදී තරග වැදුණු අතර එහිදීද 11 වරක් නිපන්දු බවට විනිසුරු ෆ්‍රෑන්ක් ලී හට තීරණ ලබාදීමට සිදුවුනා.

හසීබ් අහ්සන් - වයස 23 වනවිට ටෙස්ට් තරග සඳහා කැදවීම් නොලැබෙන්නට තරම් හසීබ් ගේ දඟ පන්දුව නිත්‍යානුකුල නොවන එකක් වුනා. 1960/61 බොම්බේ හිදී පැවති ටෙස්ට් තරගයේ පන්දුව දමාගසන බවට චෝදනා එල්ලවූ අතර 1962 එංගලන්ත සංචාරයේදී ද එලෙසෙම සිදුවූනා.

චාර්ලි ග්‍රිෆිත් 

චාලි ග්‍රිෆිත් - 1962 ඉන්දියාව සහ බාබඩෝස් පිල අතර පවතී තරගයේදී ග්‍රිෆිත් ගේ වේගවත් පන්දුව නිසා අනතුරට ලක්වූ නාරි කන්ට්‍රැක්ටර් ට රෝහල් ගතවෙන්නට සිදුවුණා. ඒ අතරතුර විනිසුරු ඔහු දමාගසන බවට චෝදනාවක් එල්ල කළා.



අබිඩ් අලි - 1968 දී නවසීලන්තයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේ මොහුටත් පන්දුව දමාගසන චෝදනාව එල්ල වුනා. විනිසුරු ලෙස කටයුතු කලේ ෆ්‍රෙඩ් ගුඩොල්.

හැරෝල්ඩ් රෝඩ්ස්, බච් වයිට්, රෙග් සිම්සන්, ඉයන් රෙඩ්පාත්, ජිමි හිග්ස්, බ්රූස් යාර්ඩ්ලි - පිළිවලින් 1960, 1965, 1960, 1964,1976,1977-78 යන වසර තුල පන්දු යැවීම සමබන්ධයෙන් විවිධ චෝදනා වලට ලක්වුවන්ය.

ඩේවිඩ් ගවර් - 1986 නවසීලන්තයට එරහි ට්‍රෙන්ට්බ්‍රිජ් තරගයේ අවසානම පන්දුවේදී හිතාමතා පන්දුව දමාගැසීමක් සිදුකලා. මේ සිදුවීම නිසා ඔහු ඉතිහාසගත වුනේ මුල්ම වරට එංගලන්තයේ ටෙස්ට් තරගයකදී පන්දුව දමාගසන බවට චෝදනා ලැබූ මුල්ම එංගලන්ත ක්‍රීඩකයා ලෙසටයි.

කර්ට්ලි ඇම්බ්‍රෝස් - වේග පන්දුවේ විශිෂ්ටයෙක් වන ඇම්බ්‍රෝස් ටද පන්දුව දමාගැසීමේචෝදනාවට ලක්වෙන්නට සිදුවුණා. ඔහුගේ වාසනාවට එය සිදුවුනේ පළමුපෙළ තරගයක දී. ඒ ලීව්ර්ඩ් දූපත් සහ ට්‍රිනිඩෑඩ් පිල අතර තරගයේ දියි.


හෙන්රි ඔලොන්ගා - 1995 හරාරේ හිදී පකිස්තානයට එරහි තරගයේදී ටෙස්ට් අභිෂේකය ලබන ඔලොන්ගා වාර්තා පොත් අතරට යන්නේ මුල්ම කළු ජාතික සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට. ඔහු එම තරගයේදී සයිඩ් අන්වර් ගේ කඩුල්ල දවාගන්නා අතර ඉයන් රොබින්සන් විනිසුරු ගෙන් පන්දුව දමාගසන චෝදනවටද ලක්වෙන්නට සිදුවුනා. එම ටෙස්ට් තරගය ජයගන්නා සිම්බාබ්වේ පිල ඉතිහාසගත වුනේ ඔවුන්ගේ මුල්ම ටෙස්ට් තරග ජයගැනීම ලෙසටයි. ඩෙනිස් ලිලි ගේ මඟ පෙන්වීම යටතේ පන්දු යැවීමේ ඉරියව්වේ සුළු වෙනස්කමක් කරමින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙතට පැමිණෙන්නට ඔහුට හැකිවුනා.

මුත්තයියා මුරලිදරන් - ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් වැදගත් සංධිස්ථානයක් වන මෙය වඩාත් කතාබහට ලක්වූ පන්දුව දමා ගැසීමේ චෝදනාවයි. 1995/96 ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී විනිසුරු ඩැරල් හෙයාර් විසින් ඔහු දමාගසන බවට නිපන්දුවකින් පෙන්වා දුන්නා. ඔහු ඕවර 3 කදී 7 වරක් එය සිදු කිරීම කැපී පෙනුනා. නායක අර්ජුන රණතුංග විනිසුරු ඩැරල් හෙයාර් සිටින අන්තයෙන් මුරලි කැඳවීම වලක්වා ස්ටීව් ඩන් විනිසුරු අන්තයෙන් ඔහුට පන්දු යැවීමට අවස්තාව ලබාදුන්නා. මේ සිදුවීමට දින 10 කට පසු රොස් එමර්සන් ද ඔහු පන්දුව දමාගසන බවට චෝදනාවක් එල්ල කළා. එවර එය වර්ල්ඩ් සීරිස් තරගවලියෙද්යි. නායක අර්ජුන සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය මුරලි වෙනුවෙන් පෙනී සිටියා. බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ දී සිදුකල පරීක්ෂණයෙන් අනතුරුව මුරලි එම චෝදනා සියල්ලෙන්ම නිදහස් වූ අතර එය ICC ය විසින් තහවුරු කරන ලදී. 1998/99 ඇඩ්ලේඩ් හිදී එංගලන්තයට එරෙහි තරගයේදී රොස් එමර්සන් නැවතත් ක්‍රියාත්මක වෙමින් ඔහු පන්දුව දමාගසන බවට ප්‍රකාශ කළා. එම සිදුවීමෙන් පසු නැවතත් විවිධ පරීක්ෂණ සඳහා යොමුවන්නට මුරලිට සිදුවූ අතර ඒ සියලු චෝදනා වලින් නිදහස් වීමට ඔහුට හැකිවුනා. අංශක 15, දූස්රා පන්දුව ට අදාළ නීති සම්පාදනය සිදුවුනේ මෙම සිදුවීම් මාලාවෙන් පසුවයි.

ග්‍රාන්ට් ෆ්ලවර් - 2000 වසරේදී නවසීලන්තයට එරෙහිව පවත්වන ලද ටෙස්ට් තරගයේදී ඩැරල් හෙයාර් විනිසුරු ඔහු දමාගසන බවට තුන්වරක් නිපන්දු බවට තීරණ ලබාදෙමින් පෙන්වා දුන්නා.

කුමාර් ධර්මසේන, මොහොමඩ් හෆීස්, ජෙරමයින් ලොව්සන්, බ්‍රෙට් ලී, ෂොහේබ් මලික් සහ හර්බජාන් සිං - මේ පන්දුයවන්නන් සියල්ලන්ගේම පන්දුයවීමේ ඉරියව්ව සැකසහිත බව ICC යට වාර්තා ලැබී තිබුනත් ඒ සියල්ලම ICC ය විසින් ප්‍රතික්ෂේප කළා.

ශෝහෙබ් අක්තාර්, ශබීර් අහමඩ්, ජේම්ස් කර්ට්ලී, යොහාන් බෝතා සහ අබ්දුර් රසාක් - අක්තාර් ගේ සිදුවීම ඇතිවුනේ 1999 දියි. එම සිදුවීම ICC ය විසින් ප්‍රතික්ෂේප කල තවත් එකකි. 2005 දී ශබීර් අහමඩ් ට මාස 12 ක තරග තහනමක් ලැබුනේ ඔහුගේ පන්දු යැවීම නිත්‍යානුකුල නොවන බැවින්. එංගලන්තයේ ජේම්ස් කර්ට්ලි සහ යොහාන් බෝතා දෙදෙනා ටත් චෝදනා එල්ල වූ අතර, බෝතා ට 2009 දී නැවතත් පන්දුව දමාගැසීමේ වරදට හසුවෙන්නට සිදුවීම නිසා ඔහුට දූස්රා පන්දුව යැවීම තහනම් කළා. බංගලාදේශයේ අබ්දුර් රසාක් හට මාස 3 ක තරග තහනම ලැබුනේ ද පන්දුව දමාගැසීමේ වරද නිසා.

ෂේන් ශිලින්ග්ෆෝර්ඩ් - 2010 වසරේදී මුල්ම වරට පන්දුව දමාගසන බවට චෝදනාව එල්ලවූ අතර ඔහු ඉරියව්වේ සුලු වෙනස්කම් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා ඉදිරිපත් වුනා. 2013 නොවෙම්බර් මසදී ඔහුට නැවතත් එම චෝදනාවටම ලක්වෙන්නට සිදුවීමෙන් පසු පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරන තෙක් ඔහුට තරග තහනමක් ලබාදෙන්නට ICC ය තීරණය කළා. එම වසරේදීම දෙසැම්බර් මස මාලන් සැමුවෙල්ස් හටත් ඉහත චෝදනාව එල්ලවීමෙන් ඔහුටත් පන්දු යැවීම තහනම් වුනා.

සචිත්‍ර සේනානායක, සොහාග් ගාසි, කේන් විලියම්සන්, ප්‍රෝස්පර් උට්සෙයා, සයිඩ් අජ්මාල්, අල් අමීන් හුසේන් - 2014 වසරේ දී පන්දුව දමාගසන බවට සහ නිත්‍යානුකුල නොවන පන්දු යැවීම් කල නිසා වරදට හසු වුවන්ය.

©

No comments:

Post a Comment