තරග පාවා දුන් තුන්කට්ටුව - 13
දිල්ලී පොලීසිය
...................................
2000 වසරේ දි දකුණු අප්‍රිකාවට නැවතත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දියාවට යාමට සිදුවුණා. එහිදී පැවති එක්දින තරගාවලියේ මාර්තු මස 19 වන දින නාග්පූර් හි දී පැවති තරගය නිමා වූනේ තියුණු අන්දමින්.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ලකුණු 320ක් රැස්කරගත් අතර ඉන්දියානු පිල පිළිතුරු ඉනිම ලෙස රැස්කරගන්නට හැකිවුනේ ලකුණු 310ක් පමණයි. මෙම තරගයේ ජය දකුණු අප්‍රිකාවට වුනත් තරගාවලියේ ජය හිමිවුනේ ඉන්දියාවට යි. ඒ 3 – 2 ක් ලෙස.
මෙම තරගාවලිය නිමාවනවාත් සමඟම අප්‍රේල් මස 7 වැනි දා දිල්ලි පොලීසිය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍යට නිකුත් කරනවා. නිමාවූ තරග 5කින් යුත් ඉන්දීය දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අතරතුර දකුණු අප්‍රිකානු නායකයා වන හැන්සි ක්‍රොන්යේ තරග පාවාදීම් වලට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි, දිල්ලි පොලීසිය සතුව තිබෙන බවටත් මෙම පාවාදීම් සඳහා නිකී බෝයේ, හර්ෂල් ගිබ්ස් සහ පීටර් ස්ට්‍රයිඩම් යන පුද්ගලයින්ට වංචාව, රැවටීම, තරග පාවා දීම සහ ඔට්ටු ඇල්ලීම ට එරෙහිව නඩු පවරන බවයි.
මාර්තු මස 14 වන දින ටාජ් පැලස් හෝටලයේ කාමර අංක 346 සිට ඇතිවූ දුරකතන සංවාද පටිගත කළ දිල්ලී පොලීසිය, හැන්සි ක්‍රොන්යේ සහ සංජීව් චව්ලා තරග පරාජය වන ආකාරයේ සංවාද ඇතුළත් බවටත් ගිබ්ස්, බෝයේ, ස්ට්‍රයිඩම් යන ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශ කරමින්, ඔවුන් හැර අනෙකුත් ක්‍රීඩකයින් තරග පාවා දීමේ කටයුත්තට සහභාගී කරවා ගැනීමේ ගැටළු ඇති බව පැහැදිලිව සඳහන් කර තිබෙන බවට හෙළි කළා.
එමෙන්ම එම ක්‍රීඩකයින් ලකුණු 20 කට වඩා රැස් නොකරන බවත් ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දෙන්නේ නම් ඔවුන් ලකුණු 250 ඉක්මවා නොයන බවට සහතිකයක් සංජීව් චව්ලා විසින් හැන්සි ට ලබාදෙන බව පටිගතව ඇති බවට දිල්ලි පොලිසීය ප්‍රකාශ කළා..
(මාර්තු මස 15 වන දින පැවති ෆරිදාබාද් එක්දින තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 248ක් රැස්කළ අතර ගිබ්ස් ලකුණු 19කටත් නොම්මර 3 පිතිකරණයේ යෙදුණු බෝයේ ලකුණු 14කටත් ස්ට්‍රයිඩම් නොදැවී ලකුණු 1ක් රැස්කළා).
එම පටිගත වූ හඬපටයේ සංජීව්, ක්ලූස්නර් මෙයට සම්බන්ධ වේ දැයි අසන විට හැන්සි ගේ පිළිතුර වූයේ කොචී හි පැවති තරගයේ දී ක්ලූස්නර් සහය දැක්වූ බවත් ඒ වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මුදල් ඔහුට නොලැබුණු බවට ඔහු කේන්තියෙන් සිටින බවත් ය. (එම තරගයේ 43 වන පන්දුවාරයේ දී පිතිකරණය සඳහා පැමිණි ලාන්ස් ක්ලූස්නර් පන්දු 4කට පමණක් මුහුණ දී එම පන්දුවාරයේ දී ම රාහුල් ඩ්‍රාවිඩ් ගේ පන්දුවකට ඔහුටම උඩ පන්දුවක් ලබා දී ලකුණු නොලබා දැවී ගියා).
Watch (3.45 minute):
මේ අතරතුර තවත් හඬ පටයක පටිගත කිරීමක් මාධ්‍යය වෙත නිකුත් වූ අතර එහිදී හැන්සි, අවසන් එක්දින තරගයේ ප්‍රථම පන්දුවාර කිහිපය තමන් සහ දඟ පන්දු යවන ඩෙරෙක් කෘක්ස් යවන්නට නියමිත බවත්, නිත්‍ය පන්දුයවන්නන් නොවන ක්‍රීඩකයින් අතරින් කිහිපදෙනෙකුට පන්දු යැවීමට අවස්ථා ලබා දෙන බවත් පැහැදිලිව පවසනවා. (එම අවසන් තරගයේ දී කෘක්ස් මුල් පන්දුවාර යැවූ අතර කණ්ඩායමේ නිත්‍ය පන්දුයවන්නෙක් නොවන පීටර් ස්ට්‍රයිඩම් පන්දුවාර 10ම යොමු කළා).
අප්‍රේල් මස 8 වන දා ඉන්දියාවේ චානක්යපුරි හි ඔට්ටු අල්ලන්නෙකු වන රාජේශ් කල්රා නමැති පුද්ගලයෙක් India Today සඟරාවට හෙළිකළේ ඔහු ඇමෙරිකානු ඩොලර් 400,000 – 500,000 පමණ මුදලක් තරග පාවා දීම උදෙසා ක්‍රීඩකයින්ට ලබා දුන් බවට. මේ අතරතුර දිල්ලි පොලිසීය විසින් රාජේෂ් කල්රා ද අත්අඩංගුවට ගත්තා. ඔහු ලන්ඩන් හි සිටි සංජීව් සමඟ සම්බන්ධතා පැවැත්වූ අයෙක්.
අත්අඩංගුවට පත් රාජේශ් කල්රා |
මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සැළවූ වහාම ICC යේ එවකට පැවති ලන්ඩන් හි මූලස්ථානයේ සාමාන්යයධිකාරි රොජර් හිල් පැවසුවේ මේ සම්බන්ධව ඉදිරියේ දී නිල නිවේදනයක් නිකුත් කරන බවට.
දිල්ලි පොලිසියේ චෝදනාවට හැන්සි තදබල ලෙස විරෝධය පළ කරන අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක අලි බැකර් ද ඔහුට සහය දක්වමින් පැවසුවේ මෙම චෝදනා පුස්සක් බවට (This is Rubbish). එවකට ICC යේ සභාපති ධුරය දැරූ ජග්මොහන් දල්මියා පැවසුවේ මෙම චෝදනා සියල්ල නිසි විනිවිදභාවයකින් යුක්තව ICCය විසින් පරීක්ෂණය කරන බවට සහතික කරන බවට.
අප්‍රේල් මස 8 වැනි දින, ඉන්දීය හිටපු බොලිවුඩ් නළුවෙකු වූ ක්‍රිෂන් කුමාර්, ඉන්දීය පොලිස් ප්‍රශ්න කිරීමකට ලක් කළා. එයට හේතුව ඔහුද තරග පාවා දීමේ සිදුවීම් වලට සම්බන්ධ බවට සාක්ෂි මතුවීම නිසා. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හදිසියේ අසනීප වූ ක්රිෂන කුමාර් හට රෝහල්ගත වන්නට සිදුවුනා.
ක්‍රිෂන් කුමාර් |
අප්‍රේල් 9 වන දා හැන්සි, මාධ්‍යය හමුවක් කැඳවා පැවසුවේ ඉන්දියානු තරගාවලිය අතරතුර ඔහුට කිසිදු මුදලක් පිටස්තරයින්ගෙන් නොලැබුණු බව. ඒවගේම තමන් කණ්ඩායමේ කිසිදු අයෙක් සමඟ තරග පාවා දීම පිළිබඳව කතාබහ නොකළ බවට. මේ අතර, හර්ෂල් ගිබ්ස් සහ නිකී බෝයේ දෙදෙනා ද පැවසුවේ තරග පාවා දීමක් පිලිබඳව හැන්සි කිසි විටෙකවත් කිසිදු දැනුම් දීමක් නොදැන්වූ බවටත් කිසිවෙකුත් ඔවුන් හට මුදල් ලබා නොදුන් බවට.
අප්‍රේල් 10 වන දින දිල්ලි අපරාධ අංශයේ ප්‍රධානි ප්‍රදීප් ශ්‍රිවස්තවා පැවසුවේ කොචී හිදී පැවති එක්දින තරගය ඇමෙරිකානු ඩොලර් 300,000 කට වෙන්කළ බවත් එම තරගයේ දී දකුණු අප්‍රිකානුවන් ලකුණු 300 ට වඩා රැස්කිරීම නිසා ඔට්ටු අල්ලන්නන් දැවැන්ත ලෙස පාඩු ලැබූ බව රාජේෂ් කල්රා, පොලීසියට හෙළි කළ බවට.
එදිනම ඉන්දියාවේ දකුණු අප්‍රිකානු මහා කොමසාරිස්වරිය, ඉන්දීය විදේශ අමාත්‍යංශයේ නිලධාරින් හමුව පසුව මාධ්‍යවේදීන් ඉදිරියේ පැවසුවේ මෙවැන්නක්;
"We are saying that our players are innocent until proven guilty. Just like any other person in India and just like any other person in South Africa. If they are allegations, you remain innocent until proven guilty. We have made the requisition for that which we have asked to get access , to gain access to the FIR (First Information Report). We have also asked to get access to the tapes. The response was positive."
පෙර ලිපි:
Comments
Post a Comment