තරග පාවා දුන් තුන්කට්ටුව - 11

නසාර් ගේ හෙළිදරව්ව

කුප්‍රකට ලෙදර් ජැකට් ටෙස්ට් තරගය ට ක්‍රීඩා කළ  එංගලන්ත පිළේ නායක නසාර් හුසේන් ,  තම චරිතාපදාන කෘතිය වන Playing with Fire හි මෙම තරගය විස්තර කළේ මේ ආකාරයට.

"ප්‍රිටෝරියා හි සෙන්චූරියන් ටෙස්ට් තරගය , අනෙක් ටෙස්ට් තරග වගේම සාමාන්‍යය ආකාරයට ආරම්භ වුනා, හැබැයි මේ තරගය අවසන් වුනාට පස්සේ මේ තරගය ගැන හැම කෙනෙක්ගේම මනසේ රැඳුනේ තරගයේ ප්‍රතිඵලය නිසා නං නෙමෙයි. වෙනත් කාරණාවක් නිසා.

තරගයට පෙර මගේ ඔලුවේ වැඩ කළේ, තරග 3-0ක් හැටියට අවමන් සහගත තරගාවලි පරාජයකින් අවසන් නොකළ යුතු බවට. ඒ තරගාවලියේ අපේ දස්කම් අවම වීම නිසා අඩුම ගණනේ මේ තරගයවත් ජයගත්තොත්, අපිට සතුටින් ගෙදර යන්න පුළුවන්.

තරගයට මුල්ම වරට වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දී අපිට දකුණු අප්‍රිකාවේ කඩුලු 6ක් ලකුණු 155 කට දවාගන්න පුළුවන් වුනා. මුල්ම දිනය අවසන් වෙච්ච දවසේ රාත්‍රී කාලය, අපි කාටත් අමතක කරන්න බෑ.. එදා , ඒ පළාතටම තදින් අකුණු ගහමින් වැස්සා. අපි ඒ දිහා බලන් හිටියේ සෑහෙන්න ආසාවෙන්.


හැබැයි උදේ වෙද්දි දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන්න පුළුවන් මට්ටමට පත්වෙලා තිබ්බත් ආයෙත් සවස 3.00 ට පමණ තද වර්ෂාව පතිත වීම නිසා තරගය නැවත නතරකරන්න වුනා. මෙම තරගයේ සෑම දිනයකම අතරමැද වැස්සෙන් නතර වීම නිසාම සමහර ක්‍රීඩකයෝ රාත්‍රී කාලය විනෝදවීම සඳහා වැඩි කාලයක් වෙන් කරගන්නට අමතක කළේ නෑ.

මේ අතරින් ඩැරන් ගෆ් සුවිශේෂයි. තරගයේ අවසන් දිනයට පෙර රාත්‍රීයේ, ඩැරන් අසීමිත ලෙස මත්පැන් පානය කර තරගය ආරම්භ වන විටත් වෙරි ස්වභාවය නිසා අපි ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා.." (එම සිදුවීම ඊළඟ ලිපියෙන්).

අවසන් දිනයට පෙර රාත්‍රීයේ, පස්වරු 11.00 ට පමණ ක්‍රීඩාංගණයේ සිට සැතපුම් 40ක් පමණ ඈතින් අප නවාතැන්ගත් සෑන්ඩ්ටන් සන් හෝටලයේ දී, නිදගැනීමට සූදානම් වෙද්දී මට හිතුනේ, ටෙස්ට් තරගයක් අතරතුර මා ප්‍රමාදව නිදාගැනීම සුදුසු නොවන බව.

එම මොහොතේ දී,  අහම්බයෙන් මම, හැන්සි ක්‍රොන්යේ, හෝටලයෙන් පිටතට යන බව දැකීමෙන් තරමක් පුදුම වුනා. මේ මහ රෑ, හැන්සිට මොන වගේ රාජකාරියක් ද ??

ඊළඟ දවසේ උදේ පිටිය වියළි වී තිබූ නිසා තරගය නැවත ආරම්භ කළ හැකි මට්ටමේ වුනා.
අපි අපේ ව්‍යායාම් කටයුතු සිදුකරන අවස්ථාවේ ඇලෙක් ස්ටුවර්ට් මා ළඟට පැමිණ පැවසුවේ, ඔහුට හැන්සි හමුවූ බවත් ඔහු අපෙන් තරගකාරි ප්‍රතිඵලයක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැකිද යන්න විමසූ බවත්.

මගේ පිළිතුර වුනේ;

"මේක එසෙක්ස් හැම්ෂයර් ප්‍රාන්ත තරගයක් නෙවෙයි ස්ටෙවී, මේක ටෙස්ට් තරගයක්, ටෙස්ට් තරගයක මේ වගේ දෙයක් කරලා අනාගන්න හොඳ නෑ". 

ස්ටුවර්ට් සහ හැන්සි 

ස්ටුවර්ට් ට ඒ විදිහේ පිළිතුරක් දුන්නත්, හැන්සි ගේ මේ අරුම පුදුම ඉල්ලීම ගැන වැඩිදුරටත් කතාකරන්න මං ඩන්කන් (ඩන්කන් ෆ්ලෙචර් - එවකට එංගලන්ත ප්‍රධාන පුහුණුකරු) හමුවෙන්න ගියා.

"ඒක හරියන්නේ නෑ, හැබැයි එයාගේ ඉලක්කය අහලා බලන්න" 

ඩන්කන් කිව්වේ ඒ වගේ පිළිතුරක්.

නසාර් සහ ෆ්ලෙචර්

හැන්සි ගේ පැත්තෙන් මට දැනගන්න ලැබුණු මුල්ම තොරතුර වුනේ පන්දුවාර 70න් ලකුණු 300ක ඉලක්කයක්. මේක සාධාරණ ඉලක්කයක් වුනත් තරමක් ආරක්ෂාකරි පිළිවතක් අනුගමනය කළ ඩන්කන් සහ මගේ තීරණය වුනේ දහවල් තරගය තෙක් තරගය පැවැත්වෙන අතරතුර තණතිල්ල හැසිරෙන අයුරින් මේ පිළිබඳව නිවැරදිව තීරණයක් ගන්නට.

ගෆ් ගේ කලින් දවසේ හැසිරීම නිසා එක දිගට පන්දු යවන්න කියලා , මා ගෆ් ට පැවසුවා.
තරගය අතරතුර අපිට දැණුනා දැන් තණතිල්ල පොඩ්ඩක් පිතිකරණයට සුදුසුයි කියලා.
ඒ හින්දා මට දැනගන්න ඕන වුනා හැන්සි කලින් අහපු විදිහට, අපිට තරගකාරි ඉලක්කයකට යන්න ඉඩ දෙයිද කියන එක. මට වැසිකිළියට යායුතු බව විනිසුරුට පවසා   මා පිටියෙන් ඉවත් වුනා, වහාම ඉහළ මාලයේ සිටි හැන්සිව හමුවෙන්නට තීරණය කළා.

මගේ ජීවිතේ මුල්ම වරට තරගයක ඉලක්කයක් හදාගන්න මට ප්‍රතිවාධි නායකයෙක් එක්ක සංවාදයකට යන්න සිදුවුනේ මේ සෙන්චූරියන් තරගෙ දී. මම, හැන්සිගෙන් ඉල්ලපු ඉලක්කයට හැන්සි විරෝධතාවය පළ කළේවත් නෑ.

මම හැන්සිගෙන් ඉල්ලුවේ ලකුණු 250ක ඉලක්කයක්, මං හිතුවේ හැන්සි ඒකට විරුද්ධ වෙලා 300ක් කියයි කියලා, එහෙමත් නැත්තන් 280ක්. හැබැයි 250 ට එකඟ වෙයි කියලා හිතුවේ නෑ..

ඊට පස්සේ, මේ ඉලක්කය පහසු වුනේ නෑ. මයිකල් වෝන් ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදුනා. කඩුලු 8ක් බිඳ වැටීමෙන් පසු ඩැරන් ගෆ් අවසන් පන්දුවාරයේ හතරේ පහරක් එල්ල කිරීමෙන් අපි තරගය ජයගත්තා.."

(පෙර පන්දුවාරයේ ක්‍රිස් සිල්වර්වුඩ් එල්ල කළ හතරේ පහර, පීටර් ස්ට්‍රයිඩොම් නිසි පරිදි නතර කිරීමට ඔහුට නොහැකිවුනේ ආලෝක තත්ත්වයේ බලපෑම් මත බවට සඳහන් වුනා. නමුත් පසුව පීටර් ට තරග පාවා දීමේ චෝදනා පවා එල්ල වූ අතර ඉහත සිදුවීමට ඔහුගේ සම්බන්ධයක් තිබේ ද යන්න දන්නේ ඔහුම පමණයි)

"තරගය ජයගත් පසුව හැන්සි හමුවූ මා ඔහුගේ නිර්භීත භාවය පිළිබඳවත් ඔහු කළ ක්‍රියාව ගැන අගය කරමින් තවදුරටත් පැවසුවේ මේ තීරණයට ක්‍රිකට් ප්‍රේක්ෂකයොත් අගය කරනවා ඇති, බවට. ඔහු එයට හිස නමා පිළිගෙන පිටියෙන් ඉවතට ගියා."



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments