තරග පාවා දුන් තුන්කට්ටුව - 12

ඩැරන් ගෆ් ගේ සිදුවීම

හිටපු එංගලන්ත වේග පන්දු යවන්නා වූ ඩැරන් ගෆ් "Dazzler" යන නමින් ප්‍රකාශයට පත්කළ ස්වයංචරිතාපදානයේ "Centurion Confessions (සෙන්චූරියන් පාපොච්චාරනය)" යන පරිච්ඡේදයේ, ඉහත සඳහන් කළ සිදුවීම පැහැදිලි කළේ මේ අයුරින්.

"සෙන්චූරියන් තරගයේ අපිට අප්‍රිකානුවන්ගේ 6 වන කඩුල්ල ලකුණු 136 දී දවගන්නට පුළුවන් වුනා.. මට කර්ස්ටන් (0) ගේ සහ හැන්සි (0) ගේ කඩුලු දවා ගන්නට හැකිවුනත් අපිට, පන්දු යවන්නන් හැටියට වළාකුළින් පිරුණු කාළගුණික තත්ත්වය යටතේ අපේ පන්දු යැවීම ගැන සෑහිමකට පත්වෙන්නට බැරිවුනා.


මේක ලොකු ගැටළුවක් නොවන්නට බලපෑවේ, ඉන් පසු දින තුනම වර්ෂාව නිසා තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා. අපි හිටියේ සෙන්චූරියන් පාර්ක් ක්‍රීඩාංගණයේ සිට පැය භාගෙක දුරින්, සෑන්ඩ්ටන් සන් හෝටලයේ. හැම දවසෙකම වගේ බස් රථයේ නගිනකොට හැමෝම දන්නවා අදත් තරගය පවත්වන්න බැරිවේවි කියලා.. මේ තරගය අතරතුර මම ව්‍යායාම හැටියට කළේ, සෑන්ඩ්ටන් වල ලොකු සාප්පු සංකීර්ණෙක ඇවිද ඇවිද සංගීතය ඇසීම සඳහා සීඩී, ඩීවිඩි මිලදී ගැනීම විතරයි.

හතරවෙනි දවස වෙද්දී අපිට ආරංචියක් ආවා ටෙස්ට් තරගය නතර කරලා ඒ වෙනුවට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරාවි කියලා. නමුත් ඒක එහෙම වුනේ නෑ. එදා දවසෙත් මට හිතුනේ, තරගයේ අන්තිම දවසත් ක්‍රීඩා කරන්න නොලැබේවි කියලා.

ඒ හින්දා සෑන්ඩ්ටන් බීර හල ට මම ගියේ, විවේකී මනසකින්. එහිදී මට විවිධ පුද්ගලයින් හමුවුනා. තරගය ආවරණය කිරීමට පැමිණි ජනමාධ්‍යවේදීන්, ගොල්ෆ් ක්‍රීඩකයින් වැන්නන්. "හෙටත් තරගය පැවැත්වෙන්නේ නෑ, උඹට පන්දු යවන්න බැරිවේවී, ඒ හින්දා මං ගානේ මත්පැන් වීදුරුවක් බොමු" , ඔවුන් මට එවැනි ආරාධනා රැසක් කළා.

එදා රාත්‍රීයේ මම නින්දට ගියේ, තරගයට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුව අත් හැරලා. නමුත් උදෑසන වන විට වර්ෂාවක සේයාවක් දකින්නටවත් ලැබුනේ නෑ.. ඒත් මගේ වෙරි ගතිය තවමත් පහව ගිහින් නෑ.

පස්වන සහ අවසන් දිනය වෙනුවෙන් ක්‍රීඩකයින් රැගත් බස් රථයට නගිනවිට මම සඟයින්ට මුහුණදුන්නේ දැඩි ආත්ම විශ්වාසයකින්. නමුත් මම දැනගෙන හිටියා, මට ක්‍රීඩා කළ හැකි ස්වභාවයක් නොමැති බවට. මම ඒ වෙද්දිත් කල්පනා කළේ වර්ෂාව නිසා තරගය අතහැර දැමුවොත් , මගේ වරදින් නිදහස් විය හැකි බව.

තරගය ආරම්භ වෙද්දී නසාර් දැනගෙන හිටියා, මම පෙර රාත්‍රියේ බීමත්ව කාලය ගතකළ බව. ඒ හින්දා ඔහු මට පාඩමක් ඉගැන්වීමට කළේ, එකදිගට පන්දුවාර 10ක් යැවීමට උපදෙස් දීමෙන්. සාමාන්‍යයෙන් මේ වගේ උපදෙසක් ලැබුනම, මම එයට එරෙහි වෙනවා. නමුත් එදා මම නසාර්ට එරෙහිව මුකුත් කියන්න ගියේ නෑ.. මම දැනගෙන හිටියා ඒ වෙද්දිත් තරගාවලියේ අපේ අඩු දස්කම් නිසා, නසාර් සෑහෙන්න පීඩනයකින් හිටපු බව.. තරගය වෙනුවෙන් මගේ අඩු සැලකිලිමත් භාවය සහ හැසිරීම ගැන මම අදටත් කණගාටු වෙනවා".

නසාර් එම ඉනිමෙන් පසුව පැවසුවේ, ඔහු එම ඉනිම අතරතුර මට එකදිගට පන්දු යවන්නට නියෝග කිරීම පිළිබඳව ඔහු කණගාටු වන බවත්, ඒ පිළිබඳව වැඩිදුරටත් කල්පනා කිරීමෙන් වැළකෙන ලෙසත්.

හැන්සි, අපට පහසු ඉලක්කයක් ලබාදීම ගැන අපි පුදුම වුනේ, තණතීරුව ඒ වෙද්දී පිතිකරණයට පහසු බවකින් යුතු වීම නිසා. ඒ වෙලේ අපිට හිතුනේ, හැන්සිට ඒ වෙද්දිත් මාධ්‍යය ඔස්සේ, තරග සඳහා අනවශ්‍යය ලෙස කලබලකාරි වීමට වගේම දැඩි ආරක්ෂාකාරි පිළිවතක් අනුගමනය කිරීමට එරෙහිව පහර ගසමින් සිටිය දී හැන්සි එයට පිළිතුරක් හැටියට මෙවැනි තීරණයක් ගත් බවට.

වෝන් සහ ස්ටුවර්ට් ඉලක්කය අසළට පැමිණෙන විට නසාර් මට උපදෙස් දුන්නේ පා ආවරණ පැළඳ ගන්නට. ස්ටුවර්ට් ගේ දැවී යාමෙන් පසු මම, වෝන් සමඟ පිතිකරණයට පිටත්ව ගියා. සෙන්චූරියන් පිටියට ක්‍රීඩාගාරයේ සිට සෑහෙන්න දුරක් ඇවිදගිය බවට මට හිතුණා. වෝන් ගේ දැවීයාමෙන් පසු ක්‍රිස් සිල්වර්වුඩ් පැමිණියා. නසාර් පෙර පැවසුවාක් මෙන් මට ජයග්‍රාහි ලකුණ වාර්තා කරන්නට හැකිවුනා.


එදා 'ඇතර්ස්' (මයිකල් ඇතර්ටන්) , රාත්‍රී ආහාරය සඳහා පැමිණ සිටි හැන්සි ක්‍රොන්යේ අළුත් ලෙදර් ජැකැට්ටුවක් පැළඳ සිටින බව දැක තිබුණත්, ඒ ජැකැට්ටුව පිළිබඳව අප වැඩිදුර තොරතුරු දැනගත්තේ ඉන් මාස කිහිපයකට පසුවයි".

පෙර ලිපි:

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments