තරග පාවා දුන් තුන්කට්ටුව - 10
ලෙදර් ජැකට්ටුව
හැන්සි හට ක්‍රීඩකයින් ගෙන් සහ විචාරකයින් ගෙන් සෙන්චූරියන් ටෙස්ට් තරගය තීරණයක් සහිතව අවසන් කිරීමට මුල්වීම පිළිබඳව ප්‍රශංසා ගලා එද්දී, එම තරගය අතරතුර තිරයෙන් එපිට සිදුවූ සිද්ධි දාමය හෙළිවීමට මාස කිහිපයක් ගතවුනා. ක්‍රීඩාවට ආදරය දක්වන සියල්ලන්ම පාහේ විමතියටත් සහ දැඩි කළකිරීමකටත් ලක්වූ එම සිදුවීම් දාමය සිදුවූයේ මේ ආකාරයට යි.
මෙම ටෙස්ට් තරගය පැවැත්වෙන සෙන්චූරියන් හි කණ්ඩායම් නවතැන් ගත්තේ "සෑන්ඩ්ටන් සන්" නමැති හෝටලයේ දී. තරගයේ සිවුවන දිනයත් වර්ෂාවෙන් අත්හැර දැමීමට සිදුවීම නිසා, එදිනම සවස් කාලයේ දී හැන්සි ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණා.
නමින්, මාලන් අරෝන්ස්ටම් (Marlon Aronstam) වන මොහු හැන්සි ගේ දුක සැප විමසා, ඒ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේ ඉනිම් අත්හිටුවා තරඟය පැවැත්වෙන අයුරින් එංගලන්ත නායක නසාර් හුසේන් සමඟ තීරණයකට එළඹිය හැකිදැයි යන්න විමසුවා.
මාලන් අරෝන්ස්ටම් |
මාලන්, NSI (National Sporting Index) නම් සමාගමකට අනුයුක්තව කටයුතු කරන බවත් මෙම තරගය, තරගකාරි මට්ටමකට වෙනස් කළ හැකි නම් ඔහුට පවුම් 50,000ක පමණ මුදලක් (දකුණු අප්‍රිකානු රෑන්ඩ් 500,000ක්) ලබාදිය හැකි බවත් ඊට අමතරව කුඩා ත්‍යාගයක් ද ලබාදිය හැකි බවටත් පැවසුවා.
එමෙන්ම ඉනිම් අත්හිටුවන්නේ නම් එම අවස්ථාවේ දී ම ඔහුව දැනුවත් කරන ලෙස මාලන්, හැන්සි ට ජංගම දුරකථනය ට කෙටි පණිවිඩයක් යවමින් පැවසු අතර එයට හැන්සී පිළිතුරු දුන්නේ, "පොඩ්ඩක් ඉවසන්න , ඒ වෙනුවෙන් වැඩ කටයුතු වෙමින් සිදුවනවා , බොහෝ දුරට හරියයි" ( "Be Patient, Working on it, Possible Game" ).
පෙර පැහැදිලි කළ පරිදි එංගලන්ත පිල නිසි වේලාවට හැන්සි ගේ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් ලබා නොදීම නිසා හැන්සි, මාලන් හට දැනුම් දුන්නේ ඉහත අත්හිටුවීම ක්‍රියාත්මක කළ නොහැකි බවයි.
නමුත් තරගය අතරතුර නසාර් හුසේන් , හැන්සි ගේ යෝජනාවට එකඟ වීමෙන් පසු හැන්සි, මාලන් හට එම මොහොතේ දී ම ඊමේල් පණිවුඩයක් (හෝ ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක්) යවමින් " යෝජනාව ක්‍රියාත්මක කරන බවට ( "the Game is on”) පැවසුවා.
නමුත් මාලන් ගේ පිළිතුර වූයේ , එම තීරණය ප්‍රමාදව ලැබුණු බවත් ඒ නිසාම ඔට්ටු ඇල්ලීමට නොහැකි බවයි. මාලන් විසින් පසු කලක හෙළි කළ පරිදි මෙම ක්‍රියාවලිය සාර්ථක නොවුනත් ඔහු හැන්සි ට තරගයෙන් පසු මුදලින් රෑන්ඩ් 50,000 – 53,000 ක පමණ මුදලක් (දින දෙකක් තුල 20,000 සහ 30,000 බැගින් මුදල් නෝට්ටූ දුඹුරු පැහැති කඩදාසි කවර දෙකක දමා) සහ ලෙදර් ජැකට්ටුවක් ලබාදුන්නා. ලෙදර් ජැකැට්ටුව හැන්සි ට ලබාදෙන විට, මාලන් පවසා ඇත්තේ, "මෙය ඔබේ බිරිඳට ත්‍යාගයක් ලෙස ලබා දෙන" ලෙසට.
මාලන් වැඩිදුරටත් පැවසුවේ එම මුදල ලබාදුන්නේ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන්නට නියමිතව තිබු තුන්කොන් එක්දින තරගාවලියේ තොරතුරු හැන්සිගෙන් ලබාගැනීම පිණිස බවයි.
හැන්සි සමඟ ප්‍රථම වරට සෑන්ඩ්ටන් සන් හෝටල් කාමරයේ දී හමුවීමෙන් අනතුරුව පැයකට පමණ පසු හැන්සි නැවතත් මාලන් ට දුරකථන ඇමතුමක් ගත්තා.
තමන් අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් පරාජය කරවීමට කැමැති බවත් එයට කණ්ඩායමේ නවකයින් වන හර්ෂල් ගිබ්ස්, නිකී බෝයේ සහ පීටර් ස්ට්‍රයිඩම්, පහසුවෙන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ කළ හැකි බවටත් හැන්සි පැවසුවා,
පෙර ලිපි:
Comments
Post a Comment