තරග පාවා දුන් තුන්කට්ටුව - 21
මුම්බායි පොලිස් කොමසාරිස්
........................................................................
ටෙහෙල්කා සඟරාවේ තරුන් තේජ්පාල් සහ අනිරුදා බහාල් ගේ ඊලඟ ඉලක්කය වූයේ මුම්බායි හි පොලිස් කොමසාරිස් සහ හිටපු අපරාධ අංශ ප්‍රධානි රාකේෂ් මාරියා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමයි. මේ සඳහා බහාල් ඉදිරිපත් වුනා.
මාරියා: බුකී කරුවෝ කියන විදිහට ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ කණ්ඩායම් අල්ලන්න අමාරුයි. ඒ අය තවමත් ක්‍රිකට් ගහන්නේ Spirit එක (තරගයක් කෙසේ හෝ ජය ගැනීමේ මානසිකත්වය ඇතිව) පදනම් කරගෙන. අනිත් එක, ඒ අය කෙලින්ම කණ්ඩායම් කළමනාකරු, ප්‍රෙස් එකට, එහෙමත් නැත්තම් පොලීසියට කෙලින්ම පැමිණිළි කරනවා. ඒ නිසාම , බුකී කරුවෝ, ඒ වගේ කණ්ඩායම් වල ක්‍රීඩකයෝ පොළඹවන්න කැමැති නෑ. ඒකට, අපේ කට්ටිය (ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ), උකුස්සෝ වගේ ඇහැ ගහගෙනමයි ඉන්නේ (මුදල් හෝ ත්‍යාග සඳහා).
මාරියා: තොරතුරු වලට අනුව, මේ වගේ දේවල් මුලින්ම පටන් ගත්තේ ගවස්කාර් නායකයා වෙලා ඉන්දැද්දී. මේ ක්‍රමේ, තවත් දරුණු වුනා කපිල් දේව් නායකයා වෙද්දි, අසාරුදින් ගේ කාලේ එනකොට, මුල බැහැලා ඉවරයි. මෙහෙම තමා මට දැනගන්න ලැබුනේ.
………………………………….
1995 වසරේ දී මාරියා ඇතුළු පොලිස් කණ්ඩායම යටතේ අත්අඩංගුවේ සිටි එක් ඔට්ටු අල්ලන්නෙක් පැවසුවේ ඒ වන විට නවසීලන්තයේ පැවැත්වෙමින් තිබූ සිවුකොන් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්ත අතර දෙවන තරගය තුළ ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමඟ ගණුදෙණු සාකච්ඡා කර ඇති බව.
එම තරගයේ දී ඉන්දියානු පිළ 46 වන පන්දුවාරයේ දී ලකුණු 160ට දැවී ගියා.. මෙම තරගය පිළිබඳව පොලිස් කොමසාරිස් රාකේෂ් මාරියා ට ද සැකසහිතව තිබුණා.
……………………………………
මාරියා: මම මෙහෙම දෙයක් වෙයි කියලා විශ්වාස කළේ නෑ. අන්න එතැනයි අපිට වැරදුනේ. අපි ඒ ගැන වැඩිය හොයලා බැලුවේ නෑ.
බහාල්: ඇයි එහෙම කළේ නැත්තේ ?
මාරියා: මම විශ්වාස කළේ නෑ.
බහාල්: එහෙම සිද්ධ වුනාටත් පස්සේ ?
මාරියා: නෑ. මම විශ්වාස කරන්න ගියේ නෑ.
බහාල්: කොහොමද ඒක වුනේ ?
මාරියා: අපිට නම් ඔක්කොම තියනවා, ඔට්ටු අල්ලපු අයත් එක්ක
බහාල්: නම් නෙමෙයි, කොහොමද ඒ අය අතර ඇතිවෙච්ච සංවාද එහෙම ?
මාරියා: ඒ ඔක්කොම තියනවා, අනිවාර්‍යයෙන්ම තරග පාවා දීමක්...
ඒ කාලේ, මං හිතන්නේ මිලියන 2 - 2.5ක් වගේ එක ක්‍රීඩකයෙකුට ලැබුණා
බහාල්: ටයිටන් කප් එකේ දී ද ?
මාරියා: ඒ කාලේ.... වගේ තමයි.., ක්‍රීඩකයෝ 4-5ක් එකතුවෙලා කෝටියක් කෝටි 1.25ක් වගේ ගත්තා තරග පාවලා දෙන්න. සම්පූර්ණ ආදායම කෝටි 40ක් 50ක් අතර.
බහාල්: ඒ කියන්නේ, ක්‍රීඩකයෝ ඇමට ගත්ත එක්කෙනා ?
මාරියා: ඔව්, ඒ වැඩේ කරන කෙනා, එහෙමත් නැත්තන් ඊටත් උඩ ඉඳන් ඒක මෙහෙයවපු එක්කෙනා..
එතනින් නවතින්නේත් නෑ. ඒ උපයන ගානත්, ආයෙත් ඔට්ටු අල්ලන්න දානවා.
බහාල්: එහෙම වෙන්නැති ඒ අයගේ සාක්කුවට ලොකු ගානක් වැටෙන්නේ…..
මාරියා: 25ක් (ලක්ෂ), අනිත් කණ්ඩායම වෙනුවෙන් ඔට්ටු දානවා.
බහාල්: පරදින කණ්ඩායමට ?
මාරියා: එහෙම කරලා, තව 40ක් (ලක්ෂ) හොයාගන්නවා. එහෙමවුනාම, එක මැච් එකකින් ලක්ෂ 40ක් 50ක් නිකන්ම ලැබෙනවා.
බහාල්: ක්‍රීඩකයොත් ඔට්ටු දානවද ?
මාරියා: මං කිව්වේ, ක්‍රීඩකයෝ ගැන තමයි.
බහාල්: ඒ කියන්නේ දෙපැත්තෙන්ම සල්ලි ලැබෙනවා.
මාරියා: ඔව්, දෙපැත්තෙන්ම, මං කිව්වේ ක්‍රීඩකයෝ ගැන.
බහාල්: ඒ කියන්නේ, ඔබතුමා ගාව ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු තරගවලට ඔට්ටු අල්ලපු විස්තර තියනවද ?
මාරියා: ඔව් (කණගාටු වූ ස්වරූපයකින්, හිසද සොලවමින්)
බහාල්: ක්‍රීඩකයෝ එහෙම කිව්වද ?
කීයක් වගේ ද ?
ජඩේජා (අජේ ජඩේජා) එහෙම කොහොමද ?. එයා නං, මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
මාරියා: මිත්‍රයා…... අවාසනාවට අපේ කණ්ඩායමේ ඉතාමත් හොඳ භක්තිමත් කතෝලික ක්‍රීඩකයෝ වඳ වෙලා ගිහින් තියෙන්නේ (සිනාසෙමින්).
![]() |
අජේ ජඩේජා |
බහාල්: (සිනාසෙමින්)
මාරියා: ඒ කාලේ, 4 දෙනෙක් තමා ඔය වැඩේ කරගෙන ගියේ. ප්‍රභාකර්, ජඩේජා...
බහාල්: කපිල්.. ?
මාරියා: කපිල් නෑ..
අසරුද්දින්, ජඩේජා, මොන්ගියා සහ ප්‍රභාකර්.
බහාල්: ඒ කාලේද ? ඊට කලින් දන්නේ නැද්ද ?
මාරියා: සාක්ෂි තියනවා, තරග පාවලා දුන්නා කියලා.
බහාල්: ඒ අය, තරග ප්‍රතිඵල, දක්ෂතා ගැන එහෙම කතා කළාද
මාරියා: *හිස සොලවමින්* (ඔව්)
බහාල්: ජඩේජා ගේ කටහඬ තිබ්බද හඬපටයේ, මොන්ගියාගේ, ප්‍රභාකර් ගේ, අසාර් ගේ ?
මාරියා: *හිස සොලවමින්* (ඔව්)
බහාල්: ඒ අයගෙන් අසාර් වෙන්නොන, හැමදේම උඩ ඉඳන් පාලනය කරගෙන හිටියේ. අනිත් හැමෝටම වඩා සල්ලි උපයගත්තේ. ඉතින් ඇයි එයාගේ වත්කම් ගැන පරීක්ෂනය නොකළේ ? මං හිතන්නේ එයා බන්ද්‍රා වල ෆ්ලැට් එකක් ගත්තා කෝටි 8කට.
මාරියා: දෙකයි. එකක් නෙමෙයි. එකක් මෙහ්බුබ් ස්ටුඩියො එක කිට්ටුව. අනිත් එක සාන්ත පීටර් දේවස්ථානයේ පාරෙන් එපිටට වෙන්න. දෙකම අතිශය සුඛෝපභෝගි ෆ්ලැට් දෙකක්.
බහාල්: මේ දේවල් හොයන්න සාධක තියනවද ? දුරකථන ඇමතුම් වලින්. මොකද අසාර් ඉස්සර දුරකථන අංක නිතරම වෙනස් කරනවා.
මාරියා: එයා (අසරුද්දීන්) සෑහෙන්න බුද්ධිමත්….
බහාල්: හැම මාසෙකම, එයා අංකේ වෙනස් කරගන්නවා. මං හිතන්නේ නෑ කාටවත් හොයන්න පුළුවන් කියලා 97, 96, 94 සිදුවීම්.
මාරියා: එයා අතිශය බුද්ධිමත් කෙනෙක්, එයා ඔය වැඩේ දිගටම කළා….
බහාල්: ඒ කාලෙත් ඕක සිද්ධ වුනාද ?
මාරියා: ඔව්, ඒ කාලෙත් ඕක වුනා. මිනිහා සෑහෙන්න කපටියි. වෙන අයගේ දුරකථනය ඉල්ලගන්න අවස්ථාත් තියනවා…..
බහාල්: එහෙම වුනාම, ට්‍රැක් කරන්න අමාරුයි නේ ද ?
මාරියා: *හිස සොලවමින් එකඟ වෙයි*
බහාල්: හැබැයි සමහර පුද්ගලයින්ගේ දුරකථන අංක නොවෙනස්වම තිබ්බා නේද එයාගේ දුරකථනයේ ? අනීස් ?
මාරියා: අනීස්, චෝටා ශකීල්, ශරද් ශෙට්ටි... ඒ කට්ටිය තමා...
චෝටා ශකීල් යනු, මුම්බායි කේන්ද්‍රගත වූ ප්‍රකට දාවුද් ඉබ්‍රාහිම් ගේ D-Company පාතාල කණ්ඩායමේ සාමාජිකයෙක්. 1993 වසරේ දී පුද්ගලයින් 257 කට මරු කැඳවමින්, පුද්ගලයින් 1400ක් ආබාධ වලට ලක් කරමින් එකල බොම්බේ ලෙස හැඳින්වූ මුම්බායි හි දී පිපිරී ගිය බෝම්බ ප්‍රහාර සඳහා ඉන්දීය පොලීසියට අත්‍යවශ්‍යව සිටි අපරාධකරුවෙකි.
මාරියා: දකුණු අප්‍රිකාව මුල ඉඳන්ම වගේ මේ වැඩවල් කරගෙන ගියා. ක්‍රොන්යේ ඔය දැන් කියන ඒවා, බොරු වල්පල් විතරයි (2000 වසරේ දී කිං කොමිසම ඉදිරියේ හැන්සි ක්‍රොන්යේ පිළිතුරු දෙන සමයේ දී ). 1997 ටයිටන් කප් අවසන් තරගය දන්නවා නේ ද ? සම්පූර්ණයෙන්ම පාවලා දුන්න තරගයක්. සම්පූර්ණයෙන්ම...
බහාල්: අනීස් සහ කණ්ඩායම විසින් ?
මාරියා: ඔව්.... ගොඩක් අය ඕක කළා, අනීස්, චෝටා ශකීල්, ශරද් ශෙට්ටි... මේ හැමෝම ඕක කළා.
බහාල්: අසාර් තමයි ඒ කියන්නේ ඔය හැම දේකටම සම්බන්ධ වෙන පුද්ගලයා.
මාරියා: සත්තකින්ම. ඒකනේ එයාට කියන්නේ අසාර් බායි, අසාර් බායි කියලා (සිනාසෙමින්)
- Aqeeb
Comments
Post a Comment