තරග පාවා දුන් තුන්කට්ටුව - 18

මොහොමඩ් අසා(z)රුද්දීන්

.................................................................

1963 වසරේ දී හයිද්‍රාබාද් හි දී උපත ලැබූ මොහොමඩ් අසාරුද්දීන් (අසාර්), නිසාම් කොලීජියෙන් උසස් අධ්‍යාපනය ලබා 18 හැවරිදි වියේ දී ම පළමු පෙළ ක්‍රිකට් වරම් දිනාගන්නවා. ඒ හයිද්‍රාබාද් පිළ නියෝජනය කරමින්. එහිදී දැක්වූ දක්ෂතා පදනම්ව 1984 වසරේ දී අසාර් හට මුල්ම වරට ඉන්දීය ක්‍රිකට් සංචිතය සඳහා කැඳවීමක් ලැබෙනවා. 


එම තේරීම් කෙතරම් සාර්ථක ද යත් ,  අසාර් තම මංගල ටෙස්ට් තරගයේ දී ම එංගලන්තයට එරෙහිව ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී මංගල ටෙස්ට් ශතකය වාර්තා කරනවා .  එයින් නොනවතින අසාර් ඉන් පසුව පැවති ටෙස්ට් තරග දෙකේදීම ශතක වාර්තා කරමින් මංගල ටෙස්ට් තරග 3 ම ශතක වාර්තා කළ පිතිකරුවෙක් බවට ඉතිහාසයට එක්වුණා.

අසාර් ගේ ටෙස්ට් දක්ෂතා පදනම් කරගෙන 1985 දී එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර දීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කරනවා. 1989 දී එවකට ඉන්දීය නායක ක්‍රිෂ් ශ්‍රීකාන්ත් ආදේශ කරමින් අසාරුද්දීන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වනවා. අසාරුද්දීන් ගේ ක්‍රිකට් දිවිය අවසන් වන විට ටෙස්ට් තරග 14ක් සහ එක්දින තරග 90ක ජයග්‍රහණය සඳහා ඉන්දීය පිළ මෙහෙයවමින් ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයා බවට පත්ව සිටියා.
ටෙස්ට් තරග 3 ක දී පිට පිට ශතක 3ක් රැස් කිරීමෙන් අනතුරුව 

අපූරු පිතිකරණ රටාවක් සහිත අසාරුද්දීන් , තම මැණික් කටුව ආධාරයෙන් පා ඉන්න වටා ක්‍රීඩාගාරයට හයේ පහරවල් එල්ල කිරීමට දැක්වූ දස්කම් සහ කිසිදු ආයාසයකින් තොරව එල්ල කරන ෆ්ලික් පහර  අදටත් කතාබහට ලක්වෙනවා. 

කෙසේ වෙතත් හැන්සි ක්‍රොන්යේ තරග පාවා දීම් හෙළිවූ දා සිට ජනමාධ්‍යය ඔස්සේ නිතරම සඳහන් කළ අනෙකුත් ක්‍රීඩකයින් ගේ නම් අතරේ අසාර් ද සිටියා. 

එවකට ඉන්දීය නායක මොහොමඩ් අසරුද්දීන්, හැන්සි ට ඔට්ටු අල්ලන්නන් හඳුන්වා දුන් බවත් ඔට්ටු අල්ලන්නන් සමඟ මිත්‍රත්ව සම්බන්ධතා පවත්වා ගනිමින් විවිධ මූල්‍යමය වාසි ලබාගත් බවත් හෙළිවෙන්නට පටන් ගත්තා.

නමුත් ඉහත කාල සීමාව තුල අසරුදීන් ඉහත සියලුම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා.

හැන්සි පිළිබඳව පැවති විභාගයට සමගාමීව ව ඉන්දියාවේ දී CBI (ඉන්දියානු මධ්‍යම විමර්ශන කාර්යාංශය) ආයතනය විමර්ශන ඇරඹු අතර එහිදී අසාරුද්දින් ද මුදල් ගෙන තරග පාවා දී බවට ඔප්පු වීමෙන් සහ බුකිකරුවන් සමඟ ඔහු පැවැත්වූ සම්බන්ධතා ක්‍රිකට් ක්‍රීඩාවට හානිකර වීම නිසාවෙන් ඔහුට ජීවිතාන්ත ක්‍රිකට් තහනමක් පනවන්නට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා.


එමෙන්ම 1996 දී කරළියට පැමිණි මුකේෂ් ගුප්තා , CBI ප්‍රශ්න කිරීම් හමුවේ අසරුදීන්, මනෝජ් ප්‍රභාකර්, අජේ ජඩේජා, අජේ ශර්මා සහ නායාන් මොන්ගියාගේ නම් ඉදිරිපත් කළා.

මීට අමතරව CBI වාර්තා තුල අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා (මුලාශ්‍ර:- BBC NEWS සිංහල - ක්‍රිකට් තරග පාවා දීමේ චෝදනා ගැන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා ගෙන් තිලංග සුමතිපාලට පිළිතුරු) , බ්‍රයන් ලාරා, ඇලෙක් ස්ටුවර්ට්, සලීම් මලික්, අසිෆ් ඉක්බාල්, මාර්ක් වෝ, ඩීන් ජෝන්ස් සහ මාටින් ක්‍රෝ යන ක්‍රීඩකයින්ගේ නම් ද සදහන් කර තිබෙනවා.

අසාරුද්දීන් සහ තවත් ක්‍රීඩකයින් තරග පාවා දීමට සම්බන්ධ වූවාද නැද්ද යන්න සොයාබැලීමට ටෙහෙල්කා මාධ්‍යය ආයතනය විසින් හෙළිකළ තොරතුරු, ඊළඟ ලිපියෙන්.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments