සිලෝන් තරගයෙන් පසු අනතුරට ලක්වූ එංගලන්ත කණ්ඩායම
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමට ශතවර්ෂයකට පෙර 1882 වසරේ දී එංගලන්තයේ අයිවෝ බ්ලයි ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම සැප්තැම්බර් මස 14 වැනි දින "ද පෙෂාවර්" නෞකාවෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් වූහ.
![]() |
| අයිවෝ බ්ලයි |
1871 වසරේ දී මුල්ම වරට ගමන් ආරම්භ කරන පෙෂාවර් නැව 'ද පෙනින්සුලර් ඔරියන්ටල්' ආයතනයේ ප්‍රධානතම නෞකා හතරෙන් එකක් ලෙස ලියාපදිංචි වී තිබු අතර අයිවෝ බ්ලයිගේ ක්‍රිකට් කණ්ඩායම, නාවිකයින් සහ අනෙකුත් මගින් එක්ව ගත් කළ පුද්ගලයින් 331ක් එම සංචාරය සඳහා එක්ව සිටියහ. ඊට අමතරව එය තැපැල් ප්‍රවාහනය සඳහා ද භාවිතා වූ බවට සඳහහන් වේ.
නායක අයිවෝ බ්ලයි ගේ මේ සංචාරය සුවිශේෂී වීමට හේතු දෙකක් ඇත.
1) 1882 වසරේ ම පැවති එංගලන්ත ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට හිමිවීම. "යක්ෂයා" යන අනුවර්ථ නාමය හිමි ෆ්‍රෙඩ් ස්පොෆොර්ත් ගේ පන්දු යැවීමෙන් එංගලන්ත කණ්ඩායම ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දුන් අතර ඒ අනුව අළු බඳුන තරගාවලියේ සම්ප්‍රාප්තිය සිදුවිය. කෙසේ හෝ නැවත එංගලන්තයට ජයග්‍රහණය රැගෙන එන බවට සපථ කළ අයිවෝ බ්ලයි තම කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.
2) අයිවෝ බ්ලයි ගේ කණ්ඩායම රැගත් පෙෂාවර් නැව කොළඹ වරායේ නැංගුරම් ලෑ අතර ඒ අනුව මුල්ම වරට ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් අප රට දී තරග කිහිපයකට සහභාගී වූයේ එම සංචාරය අතරතුර දී යි.
ඔක්තෝම්බර් මස 12 වැනි දින කොළඹ ට පැමිණි අයිවෝ බ්ලයි ඇතුළු එංගලන්ත කණ්ඩායම, කොළඹ ක්‍රිකට් සමාජයේ ලේකම්වරයෙකුගේ ආරාධනයෙන් තරග කිහිපයකට ක්‍රීඩා කිරීමට එකඟ විය. අයිවෝ බ්ලයි ක්‍රීඩා කිරීමට නොහැකි වූ නමුත් ඔහුගේ කණ්ඩායම සහ කොළඹ ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයින් 18ක් මේ තරගය සඳහා සහභාගී වූහ.
තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් දහස් ගණනක් පැමිණ තිබූ අතර තරගය ආරම්භ වූයේ ඔක්තෝම්බර් මස 13 වැනි දින මධ්‍යහන 12.00 ට යි. කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඔවුන් සියල්ලන්ම යුරෝපීයයන් වූහ. තරගය ගාලු මුවදොර පිටියේ පැවති අතර කාසියේ වාසිය දිනාගත්තේ යුරෝපීයයන් ගේ කණ්ඩායම යි.
![]() |
| කොළඹ ක්‍රිකට් ක්‍රීඩා පිටිය 1889 දී පමණ |
මුලින්ම පිතිකරණයේ යෙදුනු යුරෝපීයයන් මුල් ඉනිමට ලකුණු 92ක් රැස්කළහ. එයට පිළිතුරු වශයෙන් අයිවෝ බ්ලයි ගේ කණ්ඩායම ලකුණු 155ක් ද ඉන් අනතුරුව නැවත යුරෝපීයයන් දෙවන ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 16ක් රැස්කර තරගයේ නිමාව සනිටුහන් විය.
මෙම තරගය විස්තර කළ එංගලන්ත පිලේ ඩික් බාර්ලොව් (පසු කලක ක්‍රිකට් සහ පාපන්දු විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ) පැවසුවේ සමහර යුරෝපීය ක්‍රීඩකයන් කිසිදු පා ආවරණයක් හෝ වෙනත් කිසිදු ආරක්‍ෂිත උපකරණ රහිතව ක්‍රීඩාකළ අතර පාවහන් ද නොමැතිව ක්‍රීඩා කිරීම එංගලන්ත ක්‍රීඩකයින්ගේ විමතියට හේතු වූ බව.
අයිවෝ බ්ලයි මෙම තරගයට ක්‍රීඩා නොකළද ඔහු කොළඹ ක්‍රිකට් සමාජයට විශේෂ ස්තූතියක් පිරිනමන්නට අමතක කළේ නැත.
ඔක්තෝම්බර් 14 වැනි දින (සෙනසුරාදා දින), පෙෂාවර් නැව කොළඹ වරායෙන් පිටත් වූ අතර ඊළඟ දිනය (ඉරිදා) වන තෙක් කිසිදු ආපදාවක සේයාවක් නොමැතිව කොළඹ වරායේ සිට සැතපුම් 580ක පමණ ඈතින් ඔස්ට්‍රේලියාව බලා ගමනේ යෙදී තිබුණි. එදින සවස ඉහළ මාලයේ (Upper Deck), පළමු පන්තියේ මගීන් හට සුඛෝපබෝගී සත්කාරයක් හිමිවෙමින් තිබූ අතර එදින පුරාම යහපත් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබිණ.
රාත්‍රී 9 ට පමණ නැවේ ඉදිරිපස සිට තරමක් දකුණෙන් (Starboard Bow) විශාල එළියක් නිකුත් විය. නැවේ සේවා මුරය භාරව සිටි නිලධාරි බියුකැනන්, පැවසුවේ ආරම්භයේ දී කිසිදු එළියක් දක්නට නොලැබුනත් එකවරම රතු පැහැති කදම්භයක් නැවට එල්ල වූ බවට යි. මෙම සිදුවීම මගීන් රැසක් තහවුරු කළහ. ඒ වන විට කුලී සේවකයන් හාරසියයක් රැගත් මොරිෂස් සිට කල්කටා දක්වා ගමන් කරමින් තිබු ග්ලෙන්රෝයි රුවල් නැව , පෙෂාවර් නැව ආසන්නයේ ගමන් කරමින් සිටියේ ය.
නෞකාවේ කපිතාන් එඩ්වර්ඩ්.ජේ.බේකර් ඒ වනවිට තම ආගමික කටයුත්තක නිරතව සිටි අතර ඉහත සිදුවීම වනවිට වහාම නැවේ ඉදිරිපසට දිව ගියේ ය. ඔහුද රතු පැහැති කදම්භය නිරීක්ෂණය කළ බවට සඳහන් වේ. ඔහු වහාම 'පෙෂාවර්' ක්‍රියා විරහිත කරන ලෙස නියෝග කළ අතර ඉන් පසුව නැවත ඉක්මනින් 'පෙෂාවර්' ක්‍රියාත්මක කර වේගය වැඩි කරන ලෙසට නියෝග කළේ ය.
ඒ එක්කම ග්ලෙන්රෝයි ද තම ගමන් මාර්ගය වෙනස් කළ අතර ඒ අනුව එය, පෙෂාවර් හි ගැටුණු අතර මෙම අනතුරෙන් ග්ලෙන්රෝයි නැවට දැඩි හානි සිදුවිය. එයින් යම් තරමක හානියක් පෙෂාවර් නැවට සිදුවූ නමුත් එය දරුණු තත්ත්වයේ පසු නොවීය. නමුත් ඝට්ටනයෙන් පෙෂාවර් හි මගින් කිහිපදෙනෙකුගේ ඉළඇට හානිවන පරිදි ආබාධ වලට ලක්වූහ.
එයින් එක් අයෙක් වූයේ එංගලන්ත පිලේ වමත් වේග පන්දු යවන්නා වූ ෆ්‍රෙඩ්රික් මෝර්ලී. එකල වේගවත්ම පන්දුයවන්නන් කෙනෙකු වූ මෝර්ලි, එංගලන්තයේ දී ක්‍රීඩා කල මුල්ම ටෙස්ට් තරගයේ (1880) සාමාජිකයෙකි. මෙම අනතුරෙන් පසු මෝර්ලි ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් දුර්වල වූ අතර ඉන් වසර දෙකකට පසු ඔහු 33 හැවරිදි වියේ පසුවෙද්දී මරණයට පත්විය.
![]() |
| ෆ්‍රෙඩ් මෝර්ලි |
මෙම අනතුරෙන් පසු , ඔක්තොම්බර් මස 19 වැනි දා අයිවෝ බ්ලයි ඇතුළු එංගලන්ත කණ්ඩායම රැගත් 'පෙෂාවර්' ගාලු වරායට සේන්දු වූ අතර එහිදී පැවති අධිකරණ පරීක්ෂණයේ දී හෙළිවූයේ ග්ලෙන්රෝයි රුවල් නැවේ නිලධාරින් සංචාලන සංඥා ලාම්පු දල්වා නොතිබීමෙන් මෙම අනතුරට හේතු වූ බව. ඒ අනුව ග්ලෙන්රෝයි නැවේ කපිතාන් ජෝන් රයිට් ට මාස හයක සේවය පහකරන්නට අධිකරණය නියෝග කළේ ය.
පෙෂාවර් නැවට නැවත ලංකාව බලා ඒමට සිදුවුයේ , ග්ලෙන්රෝයි නැව ඒ වනවිට ධාවන තත්ත්වයට නුසුදුසු වීමත් එය රැගෙන ආසන්න වරායක් බලා යායුතුව තිබු බැවින්.
ඉන් පසු:
'පෙෂාවර්', නැවත කොළඹ වරායට පැමිණ අලුත්වැඩියා කටයුතු වල නිරත වන අතරතුර ඔක්තෝම්බර් මස 23 වැනි දා අයිවෝ බ්ලයි ගේ කණ්ඩායම තවත් තරගයක නිරත විය. එවර ප්‍රතිවාදීන් වූයේ රාජකීය ඩබ්ලින් අත්තුවක්කු කණ්ඩායමයි (Royal Dublin Fusiliers). මෙම තරගය පැවැත්වුයේ වික්ටෝරියා උද්‍යානයේදී (වර්තමානයේ නෙලුම් කුළුන ස්ථානගතව ඇති ප්‍රදේශය). අයිවෝ බ්ලයි , ගල්කිස්ස හෝටලය සහ එම ප්‍රදේශය ද සංචාරය කළ අතර එය වර්ණනා කළ බවට මුලාශ්‍ර සඳහන් කරයි.
අයිවෝ බ්ලයි ට ඔස්ට්‍රේලියාවට එරෙහිව සැළකිය යුතු දස්කමක් දැක්වීමට නොහැකි වීමට හේතුව වුයේ, මුහුදු ගමන අතරතුර දී කඹ ඇදීමේ තරගයක නිරත වී අත් තුවාල වීමනිසා.
අයිවෝ බ්ලයි ඇතුළු එංගලන්ත කණ්ඩායම, ඔක්තෝම්බර් මස 24 වැනි දා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර ඔවුන් එහිදී ඔස්ට්‍රේලියාව, ඔවුන්ගේ රටේ දීම පරාජයට පත්කර අළු බඳුන කුසලානය ජයග්‍රහණය කළහ.
-Aqeeb









Comments
Post a Comment