එසෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කළ මුල්ම ලාංකික ක්‍රීඩකයා රාජිත ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු බලඇණියේ සාමාජිකයෙකු වන කසුන් රාජිත එසෙක්ස් ප්‍රාන්තයේ පන්දු යැවීම ශක්තිමත් කිරීමට තෝරාගත් බවට සති කිහිපයකට පෙර වාර්තා විය. ඔහු මේ වනවිට එසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් තරග දෙකකදී කඩුළු 8ක් දවාගෙන ඇති අතර එයින් එක් තරගයක් ජයග්‍රහණයෙන් අවසන් විය.
පහත පොස්ටුව එසේකෙස් ප්‍රාන්තය විසින් ෆේස්බුක් හි පළකළ අතර එය තරමක් ගැටළු සහගතයි. එයට එක් හේතුවක් ඇත. අවිවාදයෙන්ම, එසේකෙස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩාකළ/කරන මුල්ම දේශීය ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කසුන් රාජිත යි. නමුත් මුල්ම ජාත්‍යන්තර ශ්‍රී ලංකා ක්‍රීඩකයා (ජාතික කණ්ඩායම නියෝජනය කළ) ඔහු නොවේ.
1877 වසරේ දී උපන් ආර්චිබෝල්ඩ් ගිබ්සන් , එංගලන්තයේ උපන් බ්‍රිතාන්‍යය ජාතිකයෙකු විය. වින්චෙස්ටර් කොලේජියේ සිසුවෙකු වන ගිබ්සන් (ඩග්ලස් ජාඩින් ද එම පාසලේම උගත් අයෙක්) 1895-1897 වසර තුළ සහ 1910 වසරේ දී එසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ තරග ක්‍රීඩා කළේ ය.
නමුත් ඔහු ඉහත කාල සමයේ දී ම ශ්‍රී ලංකාව (සිලෝන්) ට සංක්‍රමණය වී වැවිලිකරුවෙකු ලෙස අගරපතන හි දියගම (ඩයගම) දී සේවය කළ අතර එහිදී ඔහු සක්‍රිය ලෙස දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විය.
![]() |
| කොළඹ ක්‍රිකට් සමාජය සහ අප්කන්ට්‍රි කණ්ඩායම අතර තරගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් - අසුන්ගෙන ඇති ක්‍රීඩකයින් අතර වමේ සිට සිවුවැන්නා, ආර්චිබෝල්ඩ් ගිබ්සන් |
සිලෝන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ආර්චිබෝල්ඩ් ගිබ්සන්, මුල්පෙළේ දේශීය තරග සඳහා අප්කන්ට්‍රි කණ්ඩායම නියෝජනය කළේ ය (එවකට බහුතරයක් යුරෝපීය වැවිලිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක්). පසු කලක සිලෝන් ක්‍රිකට් ආයතනයේ ද සභාපතිත්වය දැරූ බවට සඳහන් වේ. අවසන් වරට මාර්ලිබෝන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අප් කන්ට්‍රි කණ්ඩායම නියෝජනය කරමින් 1927 වසරේ දී තරග කරන විට ඔහු 49 හැවරිදි වියේ පසුවිය. ඔහු එවකට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය පුද්ගලයෙක් වූ අතර මෙරට ක්‍රීඩා කළ යුරෝපිය ක්‍රීඩකයන් අතර විශිෂ්ට ක්‍රීඩකයෙක් ලෙසටද නම් කළ හැකියි.
1910 වසරේ දී පළවූ ලිපියක සඳහන් වන පරිදි එවකට සිලෝන් ක්‍රීඩකයෙක් මුල්පෙළේ තරගයක ඉනිමක රැස්කළ වැඩිම ලකුණු වාර්තාව හිමිව තිබුනේ ගිබ්සන් හට යි. ඒ දික්ඔය කණ්ඩායමට එරෙහිව දිඹුල කණ්ඩායම නියෝජනය කරමින් රදැල්ල ක්‍රීඩාංගනයේ දී අගනා ලකුණු 218ක් රැස්කිරීමෙන් අනතුරුවයි. මීට අමතරව දික්ඔය කණ්ඩායමට එරෙහිව ලකුණු 137, 103, 93 බැගින් ද අප්කන්ට්‍රි කන්ඩායම නියෝජනය කරමින් කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 170, 109, 146, 145 සහ 148 බැගින් රැස්කිරීමට ඔහුට හැකිවිය.
1943 වසරේ දී කෙන්යාවේ ගිල්සිල් රෝහලේ දී අභාවප්‍රාප්ත වන විට ඔහු 65 හැවරිදි වියේ පසුවිය.
ප.ලි . - 1910 අවසන් වරට ගිබ්සන් එසෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කරන විට (සරේ ප්‍රාන්තයට එරෙහිව) හත්වන එඩ්වර්ඩ් රජුගේ අවමංගල්‍යය කටයුතු නිසා එක් දිනයක් තරගය පවත්වා නොමැත.
-Aqeeb



Comments
Post a Comment