උණ සන්නිපාතය නිසා අකාලයේ මියගිය සිලෝන් ක්‍රීඩකයා
1899 දී සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) කොළඹ දී ආරම්භ කිරීමෙන් අනතුරුව එයට බඳවාගත් ක්‍රීඩකයින් බහුතරයක් කොළඹ රාජකීය, සාන්ත තෝමස්, සාන්ත ජෝසෆ්, වෙස්ලි සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූහ. එවකට එස්එස්සී කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයින් අතර ඩග්ලස් ද සේරම්, ෂෙල්ටන් ද සේරම් සහෝදරයින්, ෆ්‍රැන්සිස් මොලමුරේ, ඕ.ජී ද අල්විස් වැන්නන් අතර ඩබ්ලිව්.සී. බොතේජු නමැති තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකු ද සිටියේ ය.
මුලාශ්‍ර වල සඳහන් වන පරිදි ඔහු දක්ෂ වේග පන්දු යවන්නෙක්, ආරක්‍ෂිත පන්දු රකින්නෙක් වගේම පිතිකරණයෙන් ද දක්ෂ ක්‍රීඩකයෙකි. 1904-1905 අතර කාලයේ දී ඔහු කොල්ට්ස් ක්‍රිකට් සමාජය හා එක්වන අතර එහිදී ඔහුගේ දස්කම් ඉක්මනින්ම ඉහළ තලයකට පැමිණියේ ය. එවකට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය යනු මෙරට පැවති ප්‍රබලතම ක්‍රිකට් කණ්ඩායමයි. ඔවුන් පරාජය කිරීම එතරම්ම ලෙහෙසි පහසු වූයේ නැත.
1905 වසරේ දී කොල්ට්ස් පිලේ බහුතරයකින් සමන්විත සිලෝන් පිල ඉන්දියාවේ බොම්බේ සහ මදුරාසියේ තරග සඳහා සංචාරය කළ අතර එම කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස බොතේජු කටයුතු කළේ ය. මෙරට ක්‍රිකට් සමාජ පිලක් මූලිකව කටයුතු කරමින් තරග සඳහා විදෙස් සංචාරයක නිරත වූ මුල්ම අවස්තාව ලෙස මෙය ඉතිහාසයේ සඳහන් වේ.
ඔහු පන්දු යවන්නෙක් ලෙස එම වසරේ දී කඩුල්ලකට ලකුණු 9.9 ක සාමාන්‍යයක් පවත්වාගෙන තිබූ අතර එම වසරේ දෙවන හොඳම පන්දු යැවීමේ සාමන්‍යය තිබුනේ ඔහුටයි.
තම ක්‍රිකට් දිවියේ ස්වර්ණමය යුගය එළඹෙමින් තිබිය දී හදිසියේ රෝගාතුර වූ ඩබ්ලිව්.සි. බොතේජු, 1910 වසරේ දී මරණයට පත්වන විට විසිහත් හැවරිදි (27) විය. ඔහුට උණසන්නිපාතය වැළඳී තිබු බවට මුලාශ්‍ර සඳහන් කරයි.
ප . ලි . - ඉහත ඉන්දීය සංචාරයේ දී කෝල්ස් ප්‍රමුඛ සිලෝන් පිල ක්‍රීඩා කලේ පහත කණ්ඩායම් වලට එරෙහිවයි;
"The Presidency"
"The Parsees"
"The Hindus"
"The Mahomedans"
-Aqeeb

Comments
Post a Comment