තරග පාවා දුන් තුන්කට්ටුව - 33

දාවුද් ඉබ්‍රාහීම්, අජේ ශර්මා

...............................................................

ශාස්ත්‍රී සමඟ පැවති සංවාදයේ දී, ඔහු අපූරු තොරතුරක් හෙළිකළා.

ප්‍රභාකර්: Outlook එකේ එයාගේ Photo එකක් තිබ්බා දාවුද් ඉබ්‍රාහීම් එක්ක. 

ශාස්ත්‍රී: ඔව්, එයා (දාවුද්) නිතරම වගේ ආවා. උඹටත් මතක ඇති, එකපාරක් Dressing Room එකටත් ආවා. කපිල්ට එයාව මුණගැහුණා. උඹ කොහෙද හිටියේ ? ඕහ්, 1986 දී ඕක වුනේ. උඹ හිටියේ නෑ ඒ කාලේ. එයා, සාජා වල dressing room එකට ආවා. ඒ අය සෑහෙන්න හොඳට ඇඳ පැළඳගත් අය. මං දැනගත්තා කලින්ම, ඒ හින්දා එතනින් මාරුවෙලා ගියා තේ බොන්න (සිනාසෙමින්).

කපිල් කිව්වා;
"උඹ කවුරුවුනත් කමක් නෑ, එලියට යන්න (Chal Bahar Chal)" කියලා. 

ඊට පස්සේ කපිල් දැනගත්තා, මිනිහා කවුද කියලා, ආයෙත් මිනිහා ළඟට ගිහින් සමාවගත්තා (සිනාසෙමින්). 


(හිටපු ඉන්දීය පිතිකරු දිලිප් වෙන්සාකර් පසු කලක සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේ , දාවුද් පැමිණ ඉන්දීය ක්‍රීඩකයින්ට, පකිස්තානු කණ්ඩායම කෙසේ හෝ පරාජය කළහොත් සෑම ක්‍රීඩකයෙක්ටම නවතම මෝටර් රථය බැගින් ත්‍යාග කරන බවට පැවසූ බවට)

ප්‍රභාකර්: (සිනාසෙමින්)

ප්‍රභාකර් ගේ මේ සංවාදයට රවී ශාස්ත්‍රී ගේ බිරිඳ රිතූ ද එක්වුනා. ඈ පැවසුවේ මෙවැන්නක්.

රිතූ: ඒක අමුතු සිදුවීමක්. රවී (ශාස්ත්‍රී), මැඩ්‍රාස් වල රංජි තරගයක් ක්‍රීඩා කරන දවසක, රෑ වෙලාවක… 11.00 ට වගේ, දෙන්නෙක් ආවා. මමයි, මෙහෙකාර කාන්තාව විතරයි හිටියේ. ඒ අය කිව්වා, ඒ අය අජේ ශර්මාගේ ඥාතී සහෝදරයෝ කියලා. රවී ශාස්ත්‍රී ට කොන්ත්‍රාත්තුවකට අත්සන් කරන්න තියෙනවා, ඒක කරගන්නයි ආවේ කියලා කිව්වා. 

මං කිව්වා;
"මං හිතන්නේ නෑ රවී මේකට අත්සන් කරයි කියලා. අනිත් එක එයා දැන් මෙහේ නෙමෙයි ඉන්නේ." 

ඒ අය කිව්වා;
"නෑ නෑ.... අපිට ඉඩ දෙන්න කොන්ත්‍රාත්තුව පෙන්නන්න..."

ප්‍රභාකර්: කවදද, ඕක සිද්ධ වුනේ ? 

රිතූ: රවී ක්‍රිකට් ගහන කාලේ...

ප්‍රභාකර්: 94 ට කලින් ?

රිතූ: ඔව්... අපිට එන්න පුළුවන්ද ? අපිට මේක අත්සන් කරගන්න ඕනේ.

මං කිව්වා;
"දැන් වෙලාව 11.00යි , මට එහෙම අවසර දෙන්න බෑ දැන්. ඔය කොන්ත්‍රාත්තුවේ තියෙන්නේ මොනවද කියලවත් මං දන්නේ නෑ, මං ඔය කට්ටියව අඳුරන්නෙත් නෑ"

ප්‍රභාකර්: කොහේදී ද ?

රිතූ: මෙහෙදි, මේ දොර ගාව. මං කිව්වා, ඒ අයට යන්න කියලා. 

එයා කිව්වා;
"නෑ.. නෑ... අද මට බෙනාරස් යන්න තියනවා උදේට. උදේ 6.00 කෝච්චිය අල්ලගන්න තියෙනවා, මේක තමයි අත්සන් කරගන්න ලැබෙන අන්තිම අවස්ථාව".

මං කිව්වා;
"දැන් එක සැරයක් කිව්වනේ, කරුණාකරලා පිටත් වෙන්න", කියලා.
 
ඊට පස්සේ මම දොර වහලා, මුරකරුට කතා කළා. එයා කවුද කියලා ඇහුවම, අජේ ශර්මාගේ ඥාති සහෝදරයා කිව්වා. එයා ඊට පස්සේ කිව්වා, එයාට 8 වෙනි තට්ටුවට යන්න ඕනේ කියල කිව්වා කියලා.

මං ඇහුවා;
"ඒ අය පල්ලෙහාට ආවද ?" කියලා.

මුරකරු කිව්වා;
"නෑ ඒ අය තාමත් උඩ තට්ටුවේ" කියලා.

මං ඉක්මනට ගියා, මොකද මං දැනන් හිටියා සුනිල් (සුනිල් ගවස්කාර්) එහේ නෑ කියලා. එයාගේ දෙමව්පියෝ විතරයි ගෙදර හිටියේ. මං යද්දි, එහේ දොර ඇරලා, ඒ මනුස්සයා, අංකල් (සුනිල් ගේ පියා) එක්ක පුටුවේ වාඩි වෙලා කතා කරනවා. මං ඇතුලට ගිහින් කිව්වා;
"අංකල්, ඔයා දන්නවද මේ කට්ටිය කවුද කියලා?"

අංකල් කිව්වා;
"නෑ, මෙයා, අජේ ශර්මා ගේ ඥාති සහෝදරයා කියලා කිව්වා"

මං කිව්වා;
"අංකල් කොහොමද දන්නේ මේ අය අජේ ශර්මා ගේ ඥාති සහෝදරයා කියලා, මේ අය රෑ 11.00 ට මගේ ෆ්ලැට් එකට ආවා, රවී ගෙදර නෑ, දැන් අංකල් ගේ ෆ්ලැට් එකටත් ආවා, සුනිල් ගෙදර නෑ, මේ අයට මේ වෙලාවේ කරන්න තියන මහලොකු රාජකාරිය මොකද්ද ?."

ඊට පස්සේ, ඒ කට්ටිය ඉක්මනින් නැගිටලා එතනින් මාරුවෙලා ගියා, දෙයියෝ තමයි දන්නේ ඒ අය කවුද කියලා.


ශාස්ත්‍රී: අජේ (ශර්මා) ලොකු ප්‍රශ්නයකට මුල පිරුවා, සචින් නායකයා වෙලා හිටපු කාලේ, ලංකාවේ දී. ෆ්ලයිට් එක ලංකාවට ගොඩ බහිද්දි.. අපි කවුරුවත් දැනගෙන හිටියේ නෑ... එයා එයාපෝට් එකේ හිටියා. අපි ආපු ෆ්ලයිට් එකේමයි ඉඳලා තියෙන්නේ. මම වෙන ෆ්ලයිට් එකක ආවේ. කණ්ඩායමත් එක්ක නෙමෙයි. 

මං ඒ මෝඩයා ගෙන් ඇහුවා 
"උඹ කොහොමද මෙහෙට ආවේ?" කියලා. 

මිනිහා ගස්සන්න ගෙනාපු කෙනෙක් නෙමෙයි. මං ඊට පස්සේ ටෙන්ඩිල්‍යා (සචින් තෙන්දුල්කර්) ට කිව්වා අජේ ත් ඇවිල්ලා ඉන්නවා කියලා. ටෙන්ඩිල්‍යා ට කේන්ති ගියා, මොකද නායකයා හින්දා. 

2000 වසරේ CricketTalk සඟරාවේ සඳහහන් කරන පරිදි අජේ ශර්මා, පිටිය සකසන්නන් හට මුදල් දී දඟ පන්දු යවන්නන් හට වාසි වන අයුරෙන් තණතීරුව සකස් කර ඇති බවටත් වාර්තා වන අතර එයින් එක් තරගයක දී අනිල් කුම්බ්ලේ කඩුලු 10ක් ටෙස්ට් ඉනිමක බිඳ දමමින් ලෝක වාර්තාවක් පිහිටුවා.

-Aqeeb 

Comments