තරග පාවා දුන් තුන්කට්ටුව - 22
ඉන්දියාව වෙනුවෙන්, සචින් ..
..................................................................
බහාල් සහ තේජ්පාල් ගේ ඉල්ලීමට අනුව මනෝජ් ප්‍රභාකර්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජය්වන්ත් ලේලේ සමඟ හමුවීමක් සූදානම් කළේ ලේලේ ගේ නිවසේ දීම යි.
ජය්වන්ත් ලේලේ, 2000 වසරේ පාවාදීම් හෙළිවූ සමයේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය හෙබවමින් සිටි අතර, ඒ 1996 වසරේ සිටයි. (පහත සංවාදයේ දී ලේලේ විසින් හෙළිකරන තරගයේ දී සිදුවූ බව කියන දුවද්දී දැවී යාම් සහ තරග, නිර්වද්‍යයි, ඔහු පවසන තරගාවලිය, 1998 සාජා හි පැවති කොකා කෝලා සිවුකොන් තරගාවලිය විය හැකියි.)
ලේලේ: දැන් ඉන්න ඉන්දීය කණ්ඩායමේ, මම සෑහෙන්න ගරු කරන පුද්ගලයෙක් තමයි සචින් කියන්නේ.
මං ඔයාට කියන්න යන සිදුවීම 200%ක් ඇත්ත.
මේ සිද්ධිය වාර්තා වුනේ ඉන්දියාව සහ නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේ දී පවත්වපු තරගයේ දී.
තරගයට කලින් දවසේ හවස 6.30 ට වගේ අන්ශුමාන් ට (අන්ශුමාන් ගේක්වර්ඩ්) දුරකථන ඇමතුමකින් කෙනෙක් කියලා තියනවා, හෙට ඉන්දීයාව පරදින බවත්, නවසීලන්තය දිනන බවත්, ජඩේජා, අසාරුද්දින් දෙන්නම දුවද්දී දැවීයාමට හසුවෙන බවත්...
ප්‍රභාකර්: කවුද කිව්වේ ? මොන රටේ ද?
ලේලේ: ඉන්දියානු පුද්ගලයෙක්, ශ්‍රී ලංකාවේ පැවති සුදුසුකම් ලැබීමේ තරගයක.
අන්ශුමාන් ට ඒක පිළිගන්න බැරිවුනා.
"මොකද්ද මේ කියවන්නේ, අපි ශ්‍රී ලංකාවයි, නවසීලන්තයයි දෙන්නම පැරැද්දුවා, ඊළඟ තරගය කොහොමත් අපි දිනනවා" - අන්ශුමාන්..
ඒ මනුස්සයා කියලා තියනවා, "නෑ නෑ ඒක සිදුවෙනවා, කැමති නං එකතුවෙන්න පුළුවන්".
අන්ශුමාන්, ඒ මනුස්සයට හොඳටම බැනලා තියනවා. මේක වෙලා තියෙන්නේ රෑ 12.00ට. 2.00 ට වගේ අන්ශුමාන්ට හිතේ කලබලය නිසා නින්ද ගිහින් නෑ.
ඒ නිසා, සචින් ගේ හෝටල් කාමරේට ගිහින් සචින්ට මේ සිද්ධිය පැහැදිලි කරලා තියනවා.
සචින්, අන්ශුමාන්ට තරගය පරාද නොවන බවට සහතිකයක් ලබාදුන්නා.
කිව්වා වගේම, අසාර්, ජඩේජා දෙන්නම දුවද්දි දැවී ගියා, සචින් ගහලා ඉන්දියාව දින්නා (ලේලේ පවසන මෙම තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර සාජාහි පැවති 4වන තරගය විය යුතුයි, නමුත් එය ඉන්දියාව පරාජය විය.සචින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය)
අපි ශ්‍රී ලංකාව එක්ක අවසන් තරගෙට තේරුණා. අපි කවමදාකවත් ශ්‍රී ලංකාව පරද්දලා අවසන් තරගයක් දිනලා නෑ ශ්‍රී ලංකාවේ දී.
අර මනුස්සයා තරගෙට කලින් දවසේ ආයෙත් දුරකතනයෙන් කතා කරලා තියනවා. අර තරගේ මොකක් වුනාද කියලා දන්නේ නෑ, හැබැයි හෙට පැවත්වෙන තරගය අනිවාර්‍යයෙන්ම පරාද වෙනවා.
අන්ශුමාන් ආයෙත් සචින්ට මේක පැහැදිලි කරලා තියනවා. ඒ තරගෙත් සචින් නිසා අපි දිනනවා. පිට පිට තරග දෙකක්. (ලේලේ පවසන තරග පිළිබඳ තොරතුරු ගැටළු සහගතයි).
ප්‍රභාකර්: සචින් තනියෙන්ම ද ?
ලේලේ: ඔව්, තනියෙන්මයි.
ලේලේ: ඉතින් මං කොහොමද මේක ඔප්පු කරන්නේ. මේක උඩ ඉඳන් පල්ලෙහා වෙනකන් හැමෝම දන්නවා. මේවා කරන එක ගැන කාටහරි තේරෙනවා නං දැනගන්න ඕන, මේ පිටිපස්සේ ඉන්නේ අසාර්, ජඩේජා සහ කපිල්.
ප්‍රභාකර්: ඔන්න ඔය හේතුව හින්දා තමා මං දුක් විඳින්නේ. සර්, ඇයි එයාව තාමත් පුහුණුකරු විදිහට තියාගෙන ඉන්නේ ?
ලේලේ: ඒක තමා ලොකුම වැරැද්ද කියලා මං දන්නවා. මං දිවුරලා කියන්නේ, මං දල්මියා (ජග්මෝහන් දල්මියා - හිටපු ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් සහ එවකට ICC සභාපති) ට කිව්වා, මේ ඔයා එකදිගට කරන තුන්වෙනි වැරැද්ද, ඔයාට තේරෙයි මං කියන දේ. දල්මියා පස්සේ පිළිගත්තා මේ සම්බන්ධව. කපිල් ගේ කොන්ත්‍රාත්තුව සැප්තැම්බර් මාසේ වෙනකන් තියනවා. ඊට පස්සේ මේ ගැන බලන්න වෙනවා.
ප්‍රභාකර්: සැප්තැම්බර් මාසේ වෙනකන් ?
ලේලේ: කරන දෙයක්, එදාට පස්සේ තමයි.
ප්‍රභාකර්: එයා තමයි එහෙනන් මිනිහා..
ලේලේ: හ්ම්ම්, මිනිහා තමන් වැරදියි කියලා දන්නවා නං, හරි නං එයාම අස්වෙලා යන්න ඕන. අපිට එයාව අයින් කරන්න පුළුවන් වෙන්නේ, කවුරුහරි අපේ ඉස්සරහට ඇවිල්ලා කිව්වොත්, "ඔව් මං කපිල්ට සල්ලි දුන්නා වගේම පාවාදෙන්න කිව්වා කියලා", විතරයි. එතකොට මිනිහාව එලවන්න පුළුවන්.
- Aqeeb
Comments
Post a Comment