තරග පාවා දුන් තුන්කට්ටුව - 20

දොස්තර නරෝත්තම් පූරි සහ ප්‍රභාකර්

..........................................................


ටෙහෙල්කා මාධ්‍යවේදීන් ගේ සැලසුමට අනුව මුලින්ම රහසිගතව පටිගත වන්නේ ප්‍රභාකර් සහ ප්‍රකට දූර්දර්ශන් නාලිකාවේ ක්‍රිකට් විස්තර විචාරක දොස්තර නරෝත්තම් පූරි අතර සාකච්ඡාවයි .


මෙම හමුවීම සිදුවන්නේ දිල්ලියේ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සුනිල් දේව් ගේ දියණියගේ මංගල උත්සවයේ දීයි. (පහළ සංවාදය, ප්‍රභාකර් ගේ කැමරාවේ පටිගත වූ අතර යූටියුබ් හරහා නැරඹිය හැකියි)

මන්සුර් අලි ඛාන් පත්ව්දී, දොස්තර නරෝත්තම් පූරි සහ සුෂිල් දෝෂි, දූර්දර්ශන් හරහා ක්‍රිකට් විස්තර විචාරයේ යෙදෙමින්

පූරි: කියන්න කණගාටුයි මනෝජ්, ඔයා කිව්ව හරි, ක්‍රිකට් ගැන මටත් තියෙන්නේ කණගාටුවක්.


ප්‍රභා: හැමෝටම එහෙමයි, මෙහෙම විසඳලා තේරුමක් නෑ.


පූරි: දන්නවද, මට මුලින්ම මේ ගැන සැක හිතුනේ 1979 කල්කටා ටෙස්ට් තරගේ දී. විශී, (ගුන්දප්පා විශ්වනාත්) නායකයා. අසිෆ් (අසීෆ් ඉක්බාල්), විශී දෙන්නම ටොස් එකට ගියා. දෙන්නම, ක්‍රීඩාගරයට ආවට පස්සේ, මම ගියා කතාකරන්න. විශී කියන්නේ සැහෙන්න හොඳ මනුස්සයෙක්. 


විශී මට කිව්වා;

"දන්නවද පූරි, ටොස් එක දින්නේ කවුද කියලා…?


මං කිව්වා ,

"නෑ" කියලා.


විශි කිව්වා,

"මමවත් දන්නේ නෑ එදා ටොස් එක දින්නේ කවුද" කියලා.


මං ඇහුවා;

"මොකද්ද මේ විකාර කියවන්නේ ?" කියලා.


විශී කියනවා;

"විශ්වාස කරපන්, ටොස් එක දිනාගත්තේ කවුද කියලා මම හරියටම දන්නේ නෑ….,මම කාසිය උඩ දැම්මා, අසීෆ් Heads කියලා කිව්වා, මං හිතන්නේ මට හොඳට ඇස් පේනවා, මං හිතුවේ Tails කියලා, එකපාරට අසීෆ් මට සුභ පැතුවා ටොස් එක දිනුවට". 


ඒ සිද්ධියෙන් පස්සේ, හැමෝටම වගේ හිතුනා ටොස් එකත් පාවලා දුන්නා වත් දෝ කියලා. මෙහෙම දෙයක් මුලින්ම දැනගන්න ලැබුනේ එදා. ඊට පස්සේ සාජා වලදීත්.


අසීෆ් ඉක්බාල්

ප්‍රභා: සාජාවල මොකද්ද වුනේ ?


පූරි: සාජාවලදී මට මේක හොඳටම තේරුණා, මගේ යාළුවෙක් හිටියා සාජාවල, අපි දෙන්නම PCA ලීග් එක එකට ගැහුවා. එයාගේ නම, රමන් කපූර්, විනෝද් ඛන්නා ගේ මස්සිනා. මිනිහා, ඛලීජ් ටයිම්ස් (Khaleej Times News Paper) වලට ඉස්සර ලිව්වා. මිනිහා එකපාරක් මහ රෑ මට phone එකෙන් කිව්වා;


"අහවල් හෝටල් කාමරේ රැස්වීමක් එකක් තියනවා, මේක තීරණය කරලා ඉවරයි. ඔට්ටුවක් අල්ලන්න සල්ලි දානවා නං, මේක තමයි නියම වෙලාව" කියලා.


මං කිව්වා,

"උඹට පිස්සුද, උඹ දන්නවනේ මං ඔට්ටු දාන්නේ නෑ කියලා"


මිනිහා කියනවා;

"හෙට කොදෙව්වෝ පරදිනවා"

පාකිස්තාන් , කොදෙව් තරගය.


ප්‍රභා: පකිස්තානෙත් එක්ක ? , ඒ කියන්නේ, කොදෙව්වොත් සම්බන්ධ ද ?


පූරි: විව් රිචර්ඩ්ස්, ගෝර්ඩන් ග්‍රිනිජ් මේ ඔක්කොමලම ගහන තරගයක්. ඊළඟ දවසේ උදේ අසීෆ්, ක්‍රීඩාගාරයේ පඩිපෙළ කිට්ටුව, අපිට මැච් එකේ ගහන කට්ටිය කවුද කියලා ලිස්ට් එක පෙන්නුවා. විව් ගහන්නේ නෑ, ග්‍රිනිජ් ගහන්නේ නෑ, මාර්ෂල් ගහන්නෙත් නෑ. 


රමන්, මං ගාවට දුවගෙන ආවා,

"මෝඩයා, මම උඹට කිව්වනේ, උඹ විශ්වාස කළේ නෑනේ, දැන් බලපන් කවුද දිනන්නේ කියලා"


විශ්වාස කරන්න මනෝජ්, රමන් මට ඔය ඩුබායි වල හෝටලේ නමයි, හෝටල් කාමරේ අංකයයි, රැස්වීම තාම ඉවර නැති විත්තිය පැහැදිලිවම කිව්වා. 


නරෝත්තම් පූරි
-Aqeeb
aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments