කිවියන් ගේ අවසන් ඉන්දියන් ජයග්‍රහණය

වසර 36 කට පසු නවසිලන්තය, ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා. 1988 දී බොම්බේ (වර්තමානයේ - මුම්බායි) හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී වාර්තා වූ එම ජයග්‍රහණයත් වසර 19කට පසු වාර්තා වූවක් (1969 නාග්පුර් ටෙස්ට් තරගයට පසු).

මෙම ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට දඟ පන්දු යවන ක්‍රීඩක ජෝන් බ්‍රේස්වෙල් ගේ දායකත්වය ඉවහල් වුනා. මුල් ඉනිමේ දී පිත්තෙන් ලකුණු 52ක් (අංක 9 පිතිකරු) සහ දෙවන ඉනිමේ දී ලකුණු 32ක් (අංක 10 පිතිකරු) රැස්කළ ඔහු පන්දු යැවීමෙන් මුල් ඉනිමේ දී කඩුලු 2ක් සහ දෙවැනි ඉනිමේ දී කඩුලු 6ක් බිඳ දැමුවා . 


මීට අමතරව ඇන්ඩෲ ජෝන්ස් දෙවැනි ඉනිමේ දී ලකුණු 78ක් සහ ඉයන් ස්මිත් ලකුණු 54ක් රැස්කළා. 80 දශකයේ ජයග්‍රහණ රැසකට දායකත්වය සැපයු රිචර්ඩ් හැඩ්ලි ඉනිම් දෙකේදී කඩුලු 6ක් සහ 4ක් බැගින් දවාගත්තා.

මෙම තරගයේ දී නවසිලන්ත පිලේ නායක ජෝන් රයිට්, නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් මුළු ලකුණු ලාභියා බවට පත්වුණේ බෙවන් කොන්ග්ඩන් පසු කර යමින්.



බැංගලෝර් හි මුල්ම ටෙස්ට් තරගය පරාජය වීමෙන් පසු දෙවැනි තරගයේ මුල් ඉනිමේ දී ලකුණු 33 කට දැවියාමෙන් පසු ජෝන් රයිට් හට ක්‍රීඩාගාරයේ දී නවසිලන්ත ප්‍රධාන පුහුණුකරු බොබ් කුනිස් මුණ ගැසුණා. 

"අපි දෙන්නට නත්තල සමරන්න වෙන්නේ රරෝටොන්ගා වල දී (කූක් දූපත් සමූහයේ විශාලතම දූපත). මේ තරගයත් පැරදුනොත්, අපි දෙන්නටම නවසීලන්තයට යන්න වෙන එකක් නෑ."

මෙම සිදුවීම පදනම් කරගෙන පසුකලක තම ස්වයං චරිතාපදානය  "CHRISTMAS IN RAROTONGA: THE JOHN WRIGHT STORY" ලෙස නම් කිරීමට ජෝන් රයිට් කටයුතු කළා.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments