බොඩිලයින් - 12

කොළඹ දී එක්දින තරගයක් !


1932 ඔක්තොම්බර් මස 8 වන දා පෙරවරු 7.00 ට MCC කණ්ඩායම රැගත් ඔරියන්ට් ලයින් හි ඔරෙන්ටස් එස්.එස් නෞකාව කොළඹ වරායට සේන්දු වුනා.. 

එවකට සිලෝන් ක්‍රීඩකයෙක් වගේම පරිපාලකයෙක් ලෙස කටයුතු කළ, ඉන් දශකයකට පෙර ප්ලම් වෝනර් ගේ නායකත්වයෙන් යුත් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කළ,  දොස්තර චර්චිල් හර්බට් ගුණසේකර ගේ නායකත්වයෙන් යුත් ඕල් සිලෝන් පිල හා එක්ව එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට ජාඩීන් ප්‍රමුඛ MCC කණ්ඩායම එකඟ වුනා.. 


මේ අතරතුර MCC කණ්ඩායම හා එක්වන්නට 22 හැවරිදි ඉෆ්‍තිකාර් අලි ඛාන් පතව්දි ඉන්දියාවේ සිට පැමිණියා. 

මෙම තරගය පැවැත්වූයේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී (කොළඹ එස්.එස්.සී). මෙම තරගය නැරඹීම සඳහා දසදහසකටත් වඩා අධික ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටි අතර ක්‍රීඩාගාරයේ අසුන් සියල්ලම පිරී යාමෙන් අනතුරුව සමහර ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය අවට ගස් වල නැග තරගය නැරඹීමට උත්සුක වුනා.. 

කාසියේ වාසිය දිනූ ඩග්ලස් ජාඩීන්, සිලෝන් පිලට පිතිකරණය සඳහා ආරාධනා කළා. අමෙස්, හැමන්ඩ්, වෙරිටි, සට්ක්ලිෆ්, බෝව්ස් මෙම තරගයට සහභාගි වූයේ නෑ..

සිලෝන් පිල කඩුලු 3ක් දැවී ලකුණු 125කට ඉනිම අත්හිටුවන විට ඩබ්ලිව්.ටී. බ්‍රින්ඩ්ලේ නොදැවී ලකුණු 82ක් රැස්කරගෙන සිටියා. එයට හයේ පහරක් සහ හතරේ පහරවල් හතක් අන්තර්ගතව තිබුණා. බ්‍රින්ඩ්ලේ එවකට ලංකා පොලිසියේ රාජකාරි කරමින් කටයුතු කළ බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.

එංගලන්ත කණ්ඩායම සමඟ පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස පැමිණි සුපිරි පිතිකරු ජැක් හොබ්ස්, තරගය අතරතුර පිටියට පැමිණි අවස්ථාවේ දී ලංකා ප්‍රේක්ෂකයින් ඔල්වරසන් දෙමින් ඔහුව පිළිගත්තා..

අතිශය වියළි තණතීරුවක් මත පතව්දි (පැට්) පැය තුනක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 62ක් රැස් කළා. බොබ් වියාට් රැස්කළ ලකුණු 54 ට වැය වුනේ මිනිත්තු 75ක් පමණයි. ෆ්‍රෙඩී බ්‍රවුන්, පිටියෙන් එපිටට හයේ පහරවල් දෙකක් එල්ල කරමින් ලකුණු 24ක් රැස් කළා. මෙම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා කිසිදු තීරණයක් නොමැතිව තරගය අවසන් වුනා.
බිල් බෝව්ස් විසින් රචිත එක්ස්ප්‍රස් ඩිලිවරිස් හි සඳහන් වන්නේ මේ තරගය පැවැත්වන විට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට ප්‍රේක්ෂකයින් ඔට්ටු පවා ඇල්ලූ බවට. එකවර තද අව් රශ්මියත්, එය සම්පූර්ණයෙන්ම වෙනස් වී තද වර්ෂාවක් ඇද හැළීම ඔහු සමාන කළේ තුර්කි ස්නානයකට (turkish bath) ..

එදින සවස් යාමයේ ගෝල්ෆේස් හෝටලයේ, ඩග්ලස් ජාඩීන් ගේ MCC කණ්ඩායම සාදරයෙන් පිළිගත් එවකට ආණ්ඩුකාර ග්‍රෙහැම් තොම්සන්, කොළඹ ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිස සංචාරක MCC කණ්ඩායම ට රාත්‍රී භෝජනයකට ඇරයුම් කළ අතර එදිනම මධ්‍යම රාත්‍රීයේ දී ඔටෙන්ටස් එස්.එස්. නෞකාව, කොළඹ වරායේ සිට ඕස්ට්‍රේලියාව බලා පිටත් වුනා..

මූලාශ්‍ර:-
1) Express Deliveries by Bill Bowes
2) Bodyline Autopsy by David Frith
3) Maitland Daily Mercury

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments