මහරූෆ්ගේ උදෑසන ආහාර වේල, Ice Bath එක සහ මුරලි ගේ ටෝක් එක
2009 වසරේ බංගලාදේශයේ දී පැවති සිම්බාබ්වේ, ශ්‍රී ලංකා සහ බංගලාදේශ තුන්කොන් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලටම ෆර්විස් මහරුෆ් ක්‍රීඩා කළේ නෑ. එවකට නවක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්, තිලාන් තුෂාර සහ නුවන් කුලසේකරගේ සහයට මද වේග පන්දුවෙන් දස්කම් දැක්වීම එයට බලපෑ හේතුව වුණා.
අවසන් තරගය සඳහා තේරි පත්වුනේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශයයි. මූලික වටයේ තරගයකදී ඒවනවිටත් ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව පරාජය වීම කැපී පෙණුනා.
බංගලාදේශයේ දී සවස් කාලය වනවිට ඉක්මනින් කළුවර වීම ප්‍රශ්නයක් වන නිසාම එහි තරග බොහෝවිට උදෑසන 9.00 වන විට ආරම්භ වනවා. එම නිසාම තරගයට පෙර සූදානම් වීමට කණ්ඩායම් උදෑසන 7.00ට වත් පැමිණිය යුතුයි. නමුත් එම අවසන් තරගය පැවති උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාංගණයට පැමිණන විටත් උදෑසන 8.00 පමණ ගතවී තිබෙනවා.
ෆර්විස් මහරුෆ්, මුල් වටවල දී ක්‍රීඩා නොකළ බැවින් ඉතාමත් සැහැල්ලුවෙන් එදින කාලය ගත කළ අතර උදෑසන ආහාරය පවා ගැනීම ප්‍රමාද කළේ එදිනද ඔහු ක්‍රීඩා නොකරනු ඇති බවට ඔහු තුළ තිබු විශ්වාසය නිසා. නමුත් තරගය ආරම්භ වීමට මිනිත්තු විස්සකට පමණ පෙර එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන විසින් හදිසියේ මහරුෆ් ට දැන්වූයේ ඉක්මනින් තරගය සඳහා සූදානම් වන ලෙසයි. එම තරගය සඳහා ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට ෆර්විස් මහරුෆ් ආදේශ කර තිබුණා.
මහරුෆ්, කඩිනමින් තරගය සඳහා ලක ලැහැස්ති වූ අතර ඔහුට උදෑසන ආහාර වේල ගැනීමටවත් කාලයක් තිබුණේ නෑ. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් (විශේෂයෙන්ම වේග පන්දු යවන්නෙක්) තරගයට පෙර කුසගින්නේ නොසිටිය යුතුයි. මහා, අඩුමගණනේ මස්පිඬු පෙරළිම වළක්වා ගැනීමට ගතයුතු පෙති වත් (Cramp Tablets) පානය කර තිබුණේ නෑ.
මුලින්ම පන්දුවට පහර දුන්නේ බංගලාදේශයයි. ඔවුන්ගේ කඩුලු ඉක්මනින් දැවී ගොස් ලකුණු 152කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වුනා. අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකර කඩුලු 3 බැගින් දවාගත්තා. පන්දුවාර 8ක් යවා මහරුෆ් එක් කඩුල්ලක් දවාගෙන තිබු අතර එම ඉනිම අවසන් වූ පසු Ice Bath එකක් සඳහා ඔහු පිටත් වුනේ මෙම තරගය ඉක්මනින්ම මුල් පෙළ පිතිකරුවන් විසින් අවසන් කරනු ඇති බවට සක්සුදක් සේ පැහැදිලි නිසා.
නමුත්, ශ්‍රී ලංකා පිතිකරුවන්, කාඩ් කුට්ටමක් කඩා වැටෙනවා සේ පන්දුවාර 8ක් ඇතුලත පිතිකරුවන් 6ක් දැවී ගියේ ලකුණු 5ක් පමණක් ලකුණු පුවරුවේ සටහන් කරමින්. ඒවනවිට පිතිකරණයේ යෙදී සිටි කුමාර් සංගක්කාර ගේ සහයට ජෙහාන් මුබාරක් එකතුවුණා. ඒවනවිට Ice Bath එකට සූදානම්ව සිටි ෆර්විස් මහරුෆ් හට ඉක්මනින් පිතිකරණය සඳහා සූදානම් වන ලෙස කණ්ඩායමේ නායකයා දැනුම් දුන්නා.
එම කාලය අතරතුර මුබාරක් ද දැවීයාම නිසා මහරුෆ් පිතිකරණයට පිටත්ව ගියා. ඉන් අනතුරුව සංගා සහ කුලසේකර දැවීයාමෙන් අනතුරුව මුත්තයියා මුරලිදරන් පිටියට පැමිණියා.
මහරුෆ් ඉතාමත් මන්දගාමි ඉනිමක් ක්‍රීඩා කළේ ඔහුගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින්. මුරලි, පපුව ඉදිරියට දමා සිංහ සෙයියාවෙන් මහරුෆ් ට පවසා ඇත්තේ;
"උඹ හිටපන් විකට් එකේ, මං ගහන්නන්"
එදා මුරලිගේ දවස... පිටිය පුරා හයේ පහරවල් හතරේ පහරවල් එල්ල කළ මුත්තයියා මුරලිදරන්, බංගලාදේශය ට පහසුවෙන් අත්කර ගැනීමට හැකිව තිබූ ජයග්‍රහණය පරාජයක් බවට පරිවර්තනය කරමින් ශූරතාවය අප ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන දුන්නා.
ප.ලි. - එම තරගයට පෙර එවකට බංගලාදේශ අගමැතිනිය ශෙය්ක් හසිනා තීරණය කර තිබුණේ මෙම තරගය බංගලාදේශය ජයගන්නා අවස්ථාවේ දී ක්‍රීඩා පිටියට ඉහලින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් මල් වැස්සක් පතිත කරවීමටයි.

Comments
Post a Comment