පැට්සි හෙන්ඩ්‍රන්
එංගලන්ත ටෙස්ට් පිතිකරු පැට්සි හෙන්ඩ්‍රන්, ලොව මුල්ම ආරක්ෂිත හිස් වැසුම පැළඳගෙන ක්‍රීඩා කළ පිතිකරුවා ලෙස සැලකෙනවා. එංගලන්ත පළමු පෙළ පිතිකරුවන් අතරින් තෙවැනියට වැඩිම මුළු ලකුණු රැස්කර ඇත්තේ හෙන්ඩ්‍රන් ය. ඒ ඉනිමක ලකුණු 50.80ක සාමාන්‍යයක් රඳවා ගනිමින්.
ඔහුට පිටියේ සෑම තැනකටම පාහේ පහරවල් එල්ලකළ හැකි දක්ෂතාවයක් තිබුණා. කට් පහර, හුක් පහර ඒ අතරින් විශේෂ යි. ඔහුගේ යුගයේ හුක් පහරින් ලකුණු රැස්කර හැකි දක්ෂතම පිතිකරුවා හෙන්ඩ්‍රන් බවට කිසිදු සැකයක් නෑ. ඔහු වේගයෙන් පැමිණෙන කෙටි පන්දු වලට වැරෙන් පහරදුන් ක්‍රීඩකයෙක්.
කඩුලු අතර වේගයෙන් දිවිය හැකි පිතිකරුවෙකු වන ඔහු විනෝදයට බර, සෑමවිටම අසල සිටින පන්දුරකින්නන් සමඟ කතාබහ කරමින් පිතිකරණයේ යෙදීමට කැමැත්තක් දැක්වූවා.
1929 වසරේ දී සරේ කණ්ඩායම සහ මිඩ්ල්සෙක්ස් කණ්ඩායම අතර ලෝර්ඩ්ස් හී දී තරගයක් පැවැත්වුනා. එවකට සරේ පිලේ නවක පන්දු යවන්නෙකු වූ ඇල්ෆ් ගවර් ද එම තරගය ක්‍රීඩා කරන බවට ආරංචි වූ පැට්සි හෙන්ඩ්‍රන්, සරේ ක්‍රීඩකයින්ගේ විවේකාගාරයට ගොස් ඇල්ෆ් හමුවීය.
ලොඩ්ස් පිටියේ ක්‍රීඩා කිරීමේ වැදගත්කමත්, පන්දු යවන්නෙකු ලෙස ඔහු වෙතට අවවාද රැසක් ලබාදුන් හෙන්ඩ්‍රන්, ඇල්ෆ් ගවර් ගේ උරහිස් මතට තම අත දමා පැවසුවේ, තමන් දැන් වයස්ගතවීම නිසා කෙටි පන්දු වලට බියක් දක්වන බවත්, එවැනි පන්දු යොමු නොකරන ලෙසත් ය.
තරගය ආරම්භ විය, පන්දු යැවීමට සුදානම් වූ ඇල්ෆ් ගවර් හට, හෙන්ඩ්‍රන් ගේ ඉල්ලීම මතකයට නැගුනා. හෙන්ඩ්‍රන් හට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා, ඇල්ෆ් ගවර් විසින් පිට පිට වේගයෙන් කෙටි පන්දු දෙකක් යැවූ අතර, ඇල්ෆ් ගවර් විස්මයට පත්කරමින් හෙන්ඩ්‍රන් විසින්, හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කළා.
මෙය දැක කෝපයට පත් ජැක් හොබ්ස්, ගවර් වෙතට පැමිණ දෝස්මුරයක් එල්ල කළ බවට වාර්තා වනවා.

Comments
Post a Comment