සියවසේ එක්දින තරගය

"අපේ පන්දුයවන්නෝ හොඳටම කළා. අපි ලකුණු 16ක් අඩුවෙන් උන්ව හිරකරලා තියාගත්තා.."
ජැක් කලිස් එලෙස පවසද්දී, නිශ්ශබ්දතාවයෙන් පිරී තිබූ දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයින්ගේ විවේකාගාරය සිනාවෙන් පිරෙන්නට විය. ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, තම සැලසුම දකුණු අප්‍රිකාණු මුල් පෙල පිතිකරුවන් දෙස බලමින් මෙලෙස පැවසුවා..
"කොල්ලනේ, අපිට පන්දුවාර 20න් 160ක් ගහන්නම වෙනවා, හැබැයි කඩුලු දෙකකට වඩා දෙන්න බෑ"
මිකී ගේ දෑස් එල්ල වුනේ හර්ෂල් ගිබ්ස් සහ ග්‍රෙහැම් ස්මිත් දෙසටයි. ඔවුන් තත්පර කිහිපයක් මිකී ආතර්, දෙස බලා තදින් සිනාවුනා. එයට මිකී ගේ පිළිතුර වූයේත් සිනාවයි. 
සියල්ලන්ම ඒ වන විට දැන සිටියා මෙම ඉලක්කය සැලසුම් කර හඹායෑමෙන් පලක් නොවන බව..
"ඕන මඟුලක් වුනදෙන්, උඹලට ඕන විදිහට අද ගහපල්ලා, කිසිම සැලසුමක් නෑ. උඹලට හිතේ හැටියට ගහපල්ලා" 
මිකී ආතර්, තම සැලසුම් එකින් එක ලියා තිබූ කොළ කැබැල්ල ගුලි කර, බිත්තියට විසි කරමින් එලෙස පැවසුවා..

ඩිපෙනාර් කිසිදු ලකුණක් නොලබා දැවී ගියත් ගිබ්ස් සහ ස්මිත් ගේ ඉනිම් අති විශිෂ්ට යි. ඉනිම අතරතුර කලිස් සහ බවුචර් ස්ථාවරව ඉනිම ගොඩනගමින් යන විට, මිකී ආතර් හට විසිකළ ඒ කොළ කැබැල්ල මතකයට නැගුනා.

ඔහු වහාම එම කොළ කැබැල්ල සොයා ගොස් නැවත තමන් සටහන් කළ ඉලක්ක කියවා එය පිතිකරණයේ යෙදී සිටි බවුචර් සහ කලිස් වෙතට දැනුම් දුන්නා.

මිකී ඒ වන විට තේරුම් ගෙන සිටියේ ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වේලාවක් සහ අවස්ථාවක් තිබෙන බවත්, එය සෑමවිටම ඉනිම ආරම්භයේ සිට නොවිය යුතු බවත් ය.
මෙම තරගය දකුණු අප්‍රිකාණුවන් විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරනවා. සියවසේ එක්දින තරගය ලෙස මෙය අදටත් කිසිදු තරගයකින් තොරව නම් කළ හැකියි.



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments