ක්‍රිකට් ක්‍රීඩාවේ උපත

13 වන ශතවර්ෂයේ දී පමණ Club Ball නම් ක්‍රීඩාවක් එංගලන්තයේ දී ජනප්‍රියව තිබුණා. කාන්තාවක් විසින් පන්දුවක් (ක්‍රිකට් පන්දුවට සමාන) පිරිමි අයෙකුට යොමුකරන අතර ඔහුගේ පිටුපස තවත් කාන්තාවක් සහ පිරිමි අයෙකු පන්දුව රැකීමට සිට ඇති බවට 1344 වසරේ දී අතින් ලියන ලද වූ ලියවිල්ලක (Manuscript) රූපසටහනක් තිබෙනවා. මෙම ක්‍රීඩාව ක්ලබ් බෝල් ලෙස සඳහන් කර ඇත. මෙය වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් පසු හෙළිව ඇත්තේ ඒ සියලු පුද්ගලයින් පූජකවරුන් පිරිසක් බවත් එහි කාන්තාවන් නොමැති බවත්ය.

1477 දී ක්ලබ් බෝල් ක්‍රීඩාවට සමාන Hand In And Hand Out නම් ක්‍රීඩාවක් ද එංගලන්තයේ දී දක්නට ලැබුණා. "CRICKET" යන වචනය මුල්ම වරට භාවිතා වී ඇති බවට සැලකෙන්නේ 1550 වසරේ දී ය. නැවතත් එවැනි වචනයක් ඉංග්‍රීසි භාෂාවේ දී භාවිතා වූ බවට සැලකෙන්නේ ඉන් වසර 100කට පමණ පසුවයි. ලිස්ල් බෝල්ස් විසින් බිශොප් කෙන් නැමැති 13 හැවැරිදි වින්චෙස්ටර් කොලීජියේ සිසුවා පිළිබඳව වාර්තා කර ඇත්තේ මෙලෙසයි.

"On the fifth day our Junior is found attempting to wield a cricket bat"

ඉන් අටවසරකට පසු මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ටතම කවියෙකු ලෙස සැලකෙන ජෝන් මිල්ටන් ගේ බෑනනුවන් වන එඩ්වර්ඩ් ෆිලිප්ස් විසින් එක් කවියක් නිර්මාණය කළේ පහත පරිදියි.
"Would that my eyes had been beaten out of my head with a cricket ball the day before i saw thee" 
උතුරු යුරෝපයේ ෆ්ලෙමිෂ් භාෂාව ක්‍රිකට් යන වචනය බිහිවීමට සාධක ඇති බවට ඩේවිඩ් ටෙරි විසින් පළකළ පර්‍යේෂනාත්මක ලිපියක සටහන් වනවා. 1550 දී පමණ ජෝන් ඩැරොව්ස් නමැත්තා ක්‍රිකට් ක්‍රීඩා කළ බවත් ඔහුට ෆ්ලෙමිෂ් වාසගමක් සහිත බව නඩු කටයුත්තක දී හෙළිකර ඇත. එමෙන්ම, ෆ්ලෙමිෂ් බසෙන් හොකී ක්‍රීඩාවට හැඳින්වෙන නම, krik-ket යන්න බිහිවීමට පාදක වී ඇති බවත් සඳහන් වනවා. 

මීට අමතරව බ්‍රිතාන්‍යය නාවිකයෙකු විසින් 1670 වසරේ දී ගමන් ගත් පූජකවරුන් පිරිසක් "Krickett" නම් ක්‍රීඩාවක් ක්‍රීඩා කළ බවට සඳහන්ව තිබෙනවා. 


ක්‍රිකට් ක්‍රීඩාව පිළකට ක්‍රීඩකයින් 11කින් සමන්විත වීමට පෙර ඩබල් විකට් තරග ජනප්‍රියව තිබුණා. එහිදී එක් පිළකට අවම වශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සමන්විත වන අතර ඔවුන් සතුව පිත්තක් ඇත. අඩියක් පමණ විෂ්කමභයකින් සමන්විත අඟල් 7ක් ගැඹුරු කුහර දෙකක් අඩි 26ක පරතරයක් පවත්වාගනිමින් පිටියේ සකස්කරගනියි. එක් පිළක දෙදෙනෙක් තම පිත්ත මඟින් (මෙම පිත්ත Dog ලෙසට හඳුන්වා ඇත) ඔවුන්ගේ අන්තයේ ඇති කුහර ආරක්ෂා කරගනියි.

අඟල් 4ක් දිග කෝටු කැබැල්ලක් (මෙය Cat ලෙසට හඳුන්වා ඇත) ඔවුන් වෙතට යොමුකරන අතර , එය කුහරය මත රැඳුනේ නම් ඔවුන් දැවී යන අතර, ඔවුන් එයට පහරක් එල්ල කර පැති මාරු කරන්නේ නම් ඔවුන්ට ලකුණක් හිමිවුනා. එනයින් මෙම ක්‍රීඩාව Cats and Dogs ලෙසට හඳුන්වා තිබෙනවා.

මෙම ක්‍රීඩාව 1700 දී පමණ ස්කොට්ලන්තයේ දී දක්නට ලැබුණා. මෙය සනාථ කරමින් 1722 දී දොස්තර ජේමිසන් විසින් රචිත ශබ්දකෝෂයේ මෙම ක්‍රීඩාව පිළිබඳව සටහනක් තිබීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් යුගය පිළිබඳව දළ අදහසක් තේරුම්ගත හැකියි.


ප.ලි.
1) ස්ටූල් බෝල්, බැන්ඩි විකට් එවැනි නම් වලින් හැඳින්වූ ක්‍රීඩා ද එකල පැවති අතර ඒවා ක්‍රිකට් ක්‍රීඩාවේ සමහර ක්‍රියාවන්වලට සමානයි.
දැනුමට යමක්: පැරණි ක්‍රිකට් යුගයේ 'Run' වෙනුවට හැඳින්වූවේ Notch ලෙසයි. 

මූලාශ්‍ර: - 
1) Cricket by W.G. GRACE (1891)
2) The Seventeenth Century Game of Cricket: A Reconstruction of the Game by David Terry

Image Credit:
1) ICC
2) W.G. Grace, Cricket (the Oldest Recorded Scorecard)

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments