හතරේ සීමාවේ උපත

ක්‍රිකට් හි ආරම්භයේ දී නිශ්චිත හතරේ සීමාවක් පැවතුනේ නෑ. ඉතා දිගු පහරක් එල්ල කළේ නම්, ඕනෑ තරමක් දිවීමෙන් ලකුණු රැස්කළ හැකියි. 

යම් වාර්තාවල සඳහන් වනවා, එවැනි පහරක් එල්ල කළ අවස්ථාවක පන්දුව ගසක අත්තක් මත රැඳී තිබියදී පිතිකරුවන් 270ක් පමණ දිවීමෙන් රැස්කළ බව. (පන්දුව බිමට ගැනීමට භාවිතා කර ඇත්තේ Shot Gun එකකි)

1740 දී පමණ ක්‍රිකට් හි තොටිල්ල ලෙස සැලකෙන හැම්බ්ල්ඩන් හී දි Bat & Ball Inn හි ඉඩම් අයිතිකරු සහ ක්‍රිකට් ක්‍රීඩක රිචර්ඩ් නයිරන් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට පැමිණෙන ජනයා වෙනුවෙන් ආහාර පාන සපයන කූඩාරමක් ස්ථාපනය කළේ පිටිය අසළින්මයි. 

ඉතින් එවැනි කූඩාරමක්, තරගයක ලකුණු සීමාව ලෙස සැළකීමට එකල ක්‍රීඩකයින් තීරණය කරන්නට බලපෑවේ, කෙතරම් දිගු පහරක් එල්ල කරද තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් ගේ බාධා මධ්‍යයේ ඔවුන්ට නිසි පරිදි වැඩි ලකුණු ප්‍රමාණයක් දිවීමට නොහැකි වීම නිසා.

එක් මුලාශ්‍රයක පහත පරිදි සඳහනක් තිබෙනවා,

"To drive the ball beyond the booth, Duke Dorset had the bent" 

Booth ලෙස සඳහන් වන්නේ, ඉහත පැවසූ අයුරින් තරගයක් සඳහා ආහාර පාන ලබාදෙන කූඩාරමයි. එය එකළ ලකුණු සීමාව බවට පත්ව තිබුණත්, එය තරගයෙන් තරගයට, ස්ථානයෙන් ස්ථානයට වෙනස් වුනා. 

එම ස්ථාපනය ව තිබූ කූඩාරම් ඉලක්ක කරමින් ලකුණු රැස්කිරීමට එකල ක්‍රීඩකයින් පුරුදුව සිටියා. ඒ අනුව, එවැනි ඉලක්කයකට නිසි පහරක් එල්ල කළේ නම්, එම පන්දුව අජීවි එකක් ලෙස සලකා නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පිතිකරුවාට හිමිවුණා. 

1815 දී හැම්ප්ෂයර් ක්‍රොනිකල් හී විශේෂ ක්‍රීඩා ලිපියක මෙවැනි අවස්ථාවක් නිසා සිදුවූ මතභේදයක් සඳහන්ව තිබෙනවා. එක් තරගයක, ලකුණු සීමාවක් ලෙස සැලකෙන එක් කූඩාරමකට එල්ල කර, පිතිකරුවා කඩුල්ලේ සීමාවෙන් ඉවතට යෑමෙන් අනතුරුව ඔහුව දුවද්දි දැවී යාමකට හසුකරගත් බවට ඉල්ලිමක් කළ විට දෙපාර්ශවය අතර මතභේදයක් හට ගැණුනා. ඒ වනවිටත් මෙම ලකුණු සීමාවන් නිසි අයුරින් නිත්‍යානුකූල නොවීම එයට හේතුව යි.

1833 දී පමණ එංගලන්ත පිළ සහ සසෙක්ස් පිළ අතර පැවති තරගයේ දී පිතිකරුවන් එල්ල කරන පහරවල් රැක ගැනීමට පිටියට දිව එන සසෙක්ස් ප්‍රේක්ෂකයින් නිසා එවැනි පන්දු "Booth-Ball" එකක් ලෙස සලකා ලකුණු ලබාදෙන්නට සිදුවූ බව වාර්තා වනවා. පෙර පැවසූ පරිදි Booth-Ball ලෙස සලකන්නේ නිශ්චිත සීමාවකට පැමිණීමෙන් පසු ලබාදෙන නිශ්චිත ලකුණු ප්‍රමාණයයි.

ඉතින් මෙවැනි ක්‍රියා නිසා එකල විනිසුරුවරුන්ට රාජකාරිය ඉතාමත් අසීරු වුනා. ඔවුන්ට, එවැනි Booth-Ball අවස්ථාවක් නිසි ලෙස සඳහන් කිරීමට කාලය පවා ගත වුනා. 

1860 මැද භාගය පමණ වනවිට හතරේ සීමාව ක්‍රීඩකයින්ගේ එකඟතාවය මත පිටිය වටා සුදු පැහැති කොඩි පිහිටුවමින් නිරූපණය කළා. සමහ‍ර තරගවල එවැනි කොඩියක් දක්නට ලැබුනේ පිටියේ එක් ස්ථානයක විතරයි. ඒ වගේම සුදු පැහැති තීන්ත පිටිය වටා ආලේප කිරීම, ඉන් පසුව කෙටි උසක් සහිත වැටක් ආධාරයෙන් හතරේ සීමාව සලකුණු කිරීම දක්වා වර්ධනය වුනා. අද හතරේ සීමාව, වෙළඳ දැන්වීම් සඳහා වෙන්කර ඇති අතර ක්‍රීඩාවට මුදල් පොම්ප කර දෙන අගනා අවස්ථාවක් බවට පත්ව තිබෙනවා. 

ප.ලි. - ඉහත සඳහන් කළ රිචර්ඩ් නයිරන්, ක්‍රිකට් හි මුල්ම වමත් පිතිකරුවන් කිහිපදෙනාගෙන් අයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ වමත් පිතිකරුවන් අතිශය දුර්ලභ වුනා එම සමයේදි. 19 වන ශතවර්ශයේ අගභාගයේ දී පමණ පළමු පෙළ ක්‍රීඩක සහ ශර්ලොක් හෝමස් රචක ආතර් කොනන් ඩොයිල් වැන්නන් වමත් පිතිකරුවන් ක්‍රීඩා කිරීමට පවා එරෙහි වුනා.



මූලාශ්‍ර: the cricketer 1960

aq photo 635339848091716130317_zps7olcilbi.png


Comments