නිමැවුම්කරු ගේ සමුගැනීම



ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම අංගයක් වෙනස් කිරීම හෝ නව හඳුන්වාදීමක් සිදුකිරීම අපහසුයි. එය ඔබ සිතන අයුරින් අද තීරණයකට එළැඹීමෙන් පසු හෙට වෙනස් කල හැකි මට්ටමේ දෙයක් නොවේ. එවැනි ක්‍රිකට් ක්‍රීඩාවේ නව නිපැයුම්කරුවන් බිහිවී ඇත්තේ ද අල්පයකි. ඔවුන් නිසා ක්‍රීඩාවට සිදුවූ මෙහෙය ප්‍රමාණාත්මකව මැනිය නොහැක. තිලකරත්න දිල්ශාන් එවැනි ක්‍රීඩකයෙකි. ඔබට පහසුවෙන් ක්‍රිකට් සමාජ කණ්ඩායමක සොයාගත නොහැකි ක්‍රීඩකයෙකි. පහසුවෙන් පාසල් ක්‍රිකට් තරඟ තුලින් ද සොයාගත නොහැකි ක්‍රීඩකයෙකි. 



දිල්ශාන් ගේ පාසල් ක්‍රිකට් දිවිය ඇරඹෙන්නේ කළුතර විද්‍යාලයෙනි. ඔහු ගේ හැකියාව හඳුනාගැනීමේ ගෞරවය හිමිවන්නේ 80 දශකයේ අගභාගයේ දී පමණ එවකට කළුතර විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වූ සුනිල් සළුවඩන මහතා ටය. ඒවනවිට දසහැවරිදි වියේ පසුවූ දිල්ශාන් වඩාත් දක්ෂ වුයේ පාපන්දු ක්‍රීඩාවට ය. පොලිස් නිලධාරියකු වූ ඔහුගේ පියා ද ප්‍රධාන පෙලේ පාපන්දු තරඟ නියෝජනය කල අයෙක් නිසාම දිල්ශාන් ගේ ප්‍රියතම ක්‍රීඩාව වුයේ පාපන්දු යි. එහෙත් සුනිල් සළුවඩන මහතා ගේ මඟපෙන්වීම යටතේ ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස පරිණත වූ දිල්ශාන් 15න් පහල කළුතර විද්‍යාලීය කණ්ඩායමේ නායකයා ලෙස ද 17න් පහල සහ 19න් පහල කණ්ඩායමේ මුල්පෙළේ ක්‍රීඩකයෙක් ලෙස දස්කම් පෑවේ ය. 

I remember he was just 15 when he hit a cracking century against Galle Cricket Club at an Under-23 match for Kalutara Town Club. To hit a century at that age is not an easy task The indication of a future international player was there in him since he was a toddler (මට මතකයි වරක් ඔහු ගාලු ක්‍රිකට් සමාජයට එරෙහිව 23න් පහල තරඟයක දී කළුතර නාගරික සමාජය වෙනුවෙන් වේගවත් ශතකයක් වාර්තා කළා. එහි සුවිශේෂත්වය වන්නේ ඒවනවිට ඔහුගේ වයස 15ක් වීමයි. එවැනි වයසක දී ඒවගේ ශතකයක් වාර්තා කිරීම ඉතාමත් අපහසුයි. අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ සලකුණු ඔහු ඒවනවිටත් නිරූපණය කර අවසන්) - සුනිල් සළුවඩන මහතා 
(උපුටා ගැනීම - Sunday Observer)


වයස 17 පිරෙත්ම බස්නාහිර දකුණ කණ්ඩායම නියෝජනය කරමින් පළමුපෙළ වරම් දිනාගන්නා දිල්ශාන් එම තරඟයේ දී රැස්කරගන්නේ ලකුණු 9ක් පමණයි. ඉන් වසරකට පසු දිල්ශාන් ඔහුගේ දෙවන පළමුපෙළ තරඟයේදීම 126ක් සහ 47ක් රැස්කරගනිමින් දක්ෂතා දැක්විය. 

1996 වසරේ දී ප්‍රථම වරට ක්‍රිකට් සමාජ කණ්ඩායමක් (කළුතර නාගරික සමාජය) නියෝජනය කරන දිල්ශාන් එතැන්පසු සිංහ ක්‍රීඩා සමාජය, සෙබස්ටිනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ඔහු ගේ ක්‍රිකට් දිවියේ වැඩි කලක් ක්‍රීඩාකළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ඔහුගේ දායකත්වය සපයා දෙන ලදී. ඔහු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ක්‍රීඩාකරන අවධියේ එම කණ්ඩායමේ රොෂාන් මහානාම, සනත් ජයසුරිය වැනි නම් දැරූ ක්‍රීඩකයින් ද නියෝජනය කළෝ ය. 



1998 වසරේ දී දකුණු අප්‍රිකානු A පිලට එරෙහිව ශ්‍රී ලංකා A පිලට කඩුලු රකින පිතිකරුවෙක් ලෙස කැඳවීමක් ලැබුණු දිල්ශාන් ට සාර්ථක වීමට නොහැකි වුවත් කඩුලු රකින්නෙක් ලෙස සැලකිය යුතු මට්ටමේ දස්කම් දැක්විය. එහෙත් 1999 වසරේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත සංචාරය දිල්ශාන් ගේ තීරණාත්මක තරඟාවලිය විය. එහිදී පිත්තෙන් මෙන්ම කඩුලු රකින්නෙක් ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ ඔහුට එම වසර අගභාගයේ දී පැවති සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින තරඟාවලියට දුලිප් මෙන්ඩිස් ඇතුළු තේරීම් කමිටුවේන් කැඳවීමක් ලැබිණ. මංගල ටෙස්ට් තරඟයේ දී අසාර්ථක වුවත් දිල්ශාන් දෙවන ටෙස්ට් තරඟයේ දී ලකුණු 163ක් රැස්කරගන්නේ හතරේ පහර 18 කින් ඉනිම වර්ණවත් කරමින් ය. 

"'Dilly, just play this like an A team match,' he (Sanath Jayasuriya) told me. That removed a huge pressure after the first Test " - දිල්ශාන් 

2003 වසර තෙක් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවුනත් ඔහු දක්ෂතා අතර රැඳී සිටිමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරුවන් ට දැඩි පීඩනයක් එල්ලකරමින් සිටියේ ය. දිල්ෂාන් ගේ පන්දුරැකීම සහ ඕනෑම විටක පන්දු යැවීමට සහ කඩුලු රැකීමට ඇති හැකියාවන් හේතුවෙන් ඔහු කණ්ඩායමේ නිත්‍ය මැදපෙළ පිතිකරුවෙක් ලෙස පත්වුයේ ඉන් අනතුරුවයි. 



රොෂාන් මහානාම ගෙන් පසු ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් ඉතාමත් අපහසු උඩපන්දු රැකීමට උපන්හපන්කම් දැක්වූ දිල්ශාන් පිටියේ පොයින්ට් ප්‍රදේශයේ මහා පවුර විය (The Great WALL at POINT). එමෙන්ම පිටියේ ඕනෑම ස්ථානයක සිට පන්දු රැකීමේ හැකියාව ඇති ක්‍රීඩකයින් අතලොස්සෙන් දිල්ශාන් එක් අයෙකි.CB තුන්කොන් තරඟාවලියේ ඉතාමත් තීරණාත්මක තරඟයක් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟයේ දී අවසන් පන්දුවාරයට ලකුණු 10ක් අවශ්‍යව තිබු මොහොතක දී ඩේවිඩ් හසී විසින් එල්ල කල පහරක් ලෝන්ග් ඕෆ් හි පන්දු රකිමින් සිටි දිල්ශාන් ගේ ග්‍රහණයට හසුවීම සහ 2012 ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තය හා පැවති තරඟයක දී සුපර් ඕවර් පන්දුවාරයේ මාර්ටින් ගප්ටිල් ගේ උඩපන්දුව රැකගැනීම මීට නිදසුන් වේ. 

එවැනි උඩපන්දු සහ අනර්ඝ පන්දු රැකීම් කිහිපයක වීඩියෝ දර්ශන පහත වේ.

1. 2006 වසරේ VB කුසලාන තුන්කොන් තරඟාවලියේ දී ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක සයිමන්ඩ්ස් ට දැවී යාමට සිදුවන්නේ අපූරු සිදුවීමකින් අනතුරුවයි. 


2. චැම්පියන්ස් ලීග් තරඟාවලියේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල වෙනුවෙන් හතරේ සීමාව අසලදී ඉතාමත් අපහසු උඩපන්දුවක් රැකගැනීම.



3. බිග් බෑෂ් ලීග් තරඟාවලියේ දී දිල්ශාන් ගෙන් අනර්ඝ දුවද්දී දැවී යාමකට හසුකිරීමක්.




4. ඉතාමත් අමිහිරි තරඟාවලි අවසානයක් වුවද දිල්ශාන් ගේ මේ අනර්ඝ උඩපන්දුව කිසිදා අමතක නොවන එකකි. විරාත් කෝලි දවාගැනීමට දිල්ශාන් සම්මාදම් වූ අයුරු.




5. ICC ශූරතා කුසලාන තරඟාවලියේ දී අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟයේ දී දිල්ශාන් ඕස්ට්‍රේලියාවේ ක්ලින්ට් මැකේ ගේ උඩපන්දුව රැකගත් අයුරු.




2006 වසර ලොව ක්‍රිකට් ලෝකය විශ්මිත වූ තරඟයක් දකුණු අප්‍රිකාවේ දී පැවති ය. ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව එතෙක් එක්දින ලෝකයේ රැකගෙන සිටි ලොව වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව බිඳ දැමීම සහ එම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව සාර්ථකව හඹා යාම ශ්‍රී ලාංකිකයින්ට නම් එතරම් සතුටුදායක සිදුවීමක් නොවූ බවට නිසැකයි. කෙසේ වුවත් සනත් ජයසුරියගේ සහ තිලකරත්න දිල්ශාන් ගේ ශතක හේතුවෙන් නැවතත් ඉහත වාර්තාව ශ්‍රී ලාංකිකයින්ට හිමිකරදීමට ඔවුන් සමත්විය. එම ශතකය (117*) දිල්ශාන් ගේ මංගල එක්දින ශතකයයි.

2009 වසර දිල්ශාන් ගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක වසර ලෙස සැලකීම වරදක් නොවේ. එම වසරේ මුල් භාගයේ දී බංගලාදේශයට එරෙහිව ලකුණු 162ක් සහ ලකුණු 143ක් රැස්කරගනිමින් ඉනිම් දෙකේහිම 150 සීමාව පසුකල පිතිකරුවෙක් වීමේ අවස්තාව අහිමි වුයේ නූලෙනි. 

ඉනිම අවසන් කරන්නෙක් ලෙස ප්‍රකටව සිටි ඔහුට ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට එම වසරේ මුල් භාගයේ දී හිමිවන්නේ අහම්බෙනි. එම තීරණය සාර්ථක වෙමින් 2009-2016 කාලවකවානුව තුල වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් පිතිකරුවා බවට දිල්ශාන් අද පත්ව ඇති අතර ඔහුගේ පිතිකරණ සාමන්‍යය 39 තෙක් වර්ධනය විය. ආරම්භක පිතිකරුවෙක් ලෙස ඔහුගේ සාමන්‍යය 46 කි. 

"Opening was the best slot because Sanath will retire in the next few years and I wanted that responsibility. I want to play the role Sanath has played." - දිල්ශාන් (ක්‍රීක්ඉන්ෆෝ වෙත ලබාදුන් සම්මුඛ සාකච්චාවක දී, 2009)
ආරම්භක පිතිකරුගේ භූමිකාව පණපෙවීමට පෙර දිල්ශාන් දේශීය තරඟ තුලත් IPL තරඟ තුලත් ආරම්භක පිතිකරුවෙක් ලෙස දස්කම් දැක්විය. 2008 වසරේ පැවති CB තුන්කොන් තරඟාවලියේ 5 වන තරඟයේ දී ඉන්දීය ඉනිමෙන් අනතුරුව එවකට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ හදිසි කැඳවීම හේතුවෙන් දිල්ශාන් ප්‍රථමවරට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රියා කලේය. තීරණය අතිසාර්ථක වෙමින් දිල්ශාන් එම ඉනිමේදී ලකුනු 62ක් නොදැවී රැස්කරගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

එමෙන්ම එම වසරේ පැවති 20යි 20 ලෝක කුසලානයේ දී දිල්ශාන් ඔහුගේ නව නිර්මාණය හඳුන්වාදෙන ලදී. "ස්කුප්" පහර ලෙස ක්‍රිකට් විස්තර විචාරකයින් එය හැඳින්වුවත් එය ප්‍රචලිත වන්නට පටන්ගත්තේ "ඩිල්ස්කුප්" පහර ලෙසයි. කඩුලු රකින්නාගේ හිසට ඉහලින් පන්දුව යන පරිදි එල්ලකරන එය අතිභයානක උත්සහයක ප්‍රතිඵලයකි. දිල්ශාන් ගේ කණ්ඩායම් සඟයින් එය අර්ථ දැක්වුයේ "ස්ටාර් ෆිෂ්" යන අන්වර්ථ නාමයෙනි. ඊට හේතුව වුයේ කිසිදු පිතිකරුවෙක් එවැනි අනුවණ තීරණයකට පෙළෙඹෙන නොවන නිසයි. එවකට ඔහුගේ ආරම්භක පිතිකරණ සඟයා වූ සනත් ජයසුරිය ද මෙම පහර උත්සහ නොකරන ලෙසත් දිල්ශාන් ට අවවාද දුන් බව වාර්තා වී ඇත.කෙසේ වෙතත් එවැනි පහරකට 100% සමාන පහරක් මේවනතුරු කිසිදු ක්‍රීඩකයෙක් එල්ලකර නැති බවට සැක හැර පැවසිය හැකිය. විචාරකයින් එය සිම්බාබ්වේ පිතිකරු ඩග්ලස් මරිලියර් එල්ලකළ පහරට සමානකම් දක්වන්නට උත්සහ කලත් එය සම්පූර්ණයෙන්ම වෙනස් පහරකි. මෙම ලෝක කුසලාන තරඟාවලියේ දී දිල්ශාන් තරඟාවලි වීරයා සම්මානය ද දිනාගත්තේය.

'It came about by accident, really. I tried to play a paddle sweep in last year's IPL in South Africa and the ball wasn't there for the shot. So instead I just instinctively flipped it over my head. When I saw replays after the game I thought I could develop the stroke so I talked to my coaches with Delhi Daredevils and we started practising it with tennis balls on a bowling machine. By the time of the World Twenty20 in England I felt really comfortable with it.'( මෙම පහර ඇතිවුනේ අහම්බෙන්, IPL තරඟාවලියේ දී පැඩල් ස්වීප් පහරකට උත්සහ කිරීමේ දී එය වැරදියමින් මගේ හිස ට උඩින් පන්දුව යාමෙන් තමා මෙය ආරම්භ වුනේ. පසුව පටිගත කල දර්ශන නැරඹීමෙන් මෙය තවදුරටත් දියුණු කළහැකි බවට තහවුරු වුන නිසා පුහුණුකරුවන් සමඟ සාකච්චා කිරීමෙන් පසු ටෙනිස් පන්දුවෙන් මෙය පුහුණු වුනා. ලෝක කුසලාන තරඟාවලියේ දී මෙය මට අපහසු පහරක් නොවන බවට හැඟීගියා)- තිලකරත්න දිල්ශාන් 





ක්‍රිකට් ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයින් සහ ආයතන මෙම පහර ට යෙදු නම් සහ විස්තර කල අයුරු පහත වේ.

The Dilshan Special - හිටපු විස්තර විචාරක රනිල් අබේනායක (මියගිය)

The Dilshan Duck Paddle - හිටපු එංගලන්ත පිට දඟ පන්දු යවන්නා ෆිල් ටෆ්නල්

The Tillakaratne Turtle - "Times" පුවත්පත 

The Dilshan Dentist Shot - විස්ඩන් (මෙම පහර වැරදීමෙන් ඔබේ දත් කුට්ටම සුනුවිසුනු කිරීමට ඇති හැකියාව නිසා)

The Dilshan Ramp - ගාර්ඩියන් පුවත්පත 

The Frying Pan Scoop - එංගලන්තයේ ඩේලි මිරර් පුවත්පත 

The Dilscoop - ක්‍රිකට් දත්ත විශ්ලේෂක මහේන්ද්‍ර මාපාගුණරත්න මහත්මයා (මෙම පහරට නියම නම යෙදුවේ මොහුයි) 

"In our dressing room it will always be The Starfish,  You have to have no brains to be playing a shot like that." - මහේල ජයවර්ධන 

දිල්ශාන් අනෙකුත් ශ්‍රේෂ්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෙන් වෙනස් වන්නේ ඇයි ? සහ ඔහු ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වඩාත්ම අවතක්සේරුවට පත්කළ පිතිකරුවා වන්නේ ඇයි ? මෙයට ලබාදිය හැකි සරල පිළිතුර වනුයේ ඔහු රැඩිකල් තීරණ ගන්නා ක්‍රීඩකයෙක් නිසයි. සාමන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් දකින්නට නොලැබෙන ගුණාංග සහිත ක්‍රීඩකයෙකි. ඔබට විරේන්දර් සෙවාග් ගේ ශතකය අහිමිකිරීමේ සිදුවීම මතක ඇති බව සිතමි, එය බොහෝ පිරිසක් විවේචනයට බඳුන් කලද ඔහු ක්‍රිකට් නීතියට එපිටින් නොයමින් ප්‍රතිවාධි ක්‍රීඩකයින් මෙල්ලකලේ එවැනි අයුරිනි. පහත දැක්වෙන සංවාදය උපුටා ගත්තේ ට්විටර් සමාජ ජාලයෙනි. 



සෑමවිටම ජයග්‍රහණය සොයායන දිල්ශාන් අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් වෙනස්වන්නේ ඒ අයුරිනි. 2009 වසරේ රාජ්කොට් හි පැවති එක්දින තරඟයේ දී දැවැන්ත ලකුණු 413ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ අසාර්ථකත්වය හේතුවෙන් පරාජය වුවද දිල්ශාන් ගේ සටන්කාමි ඉනිම කිසිවෙකුටවත් අමතක නොවේ. 

"He is one of the best counter-attackers in world cricket" - පෝල් ෆාබ්‍රේස් (හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු)

 2011 ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම මුළු ලකුණු හිමි පිතිකරුවා වූ දිල්ශාන් ට තරඟාවලි වීරයා සම්මානය අහිමි වුවද තරඟාවලිය පුරා ඔහු අංශ තුනෙන්ම දැක්වූ දක්ෂතා විශිෂ්ට ය. තරඟාවලි පරාජයෙන් පසු එවකට ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ගේ ඉවත්වීම නිසා නායකත්වයට පත්වූ දිල්ශාන් ගේ එම කෙටිකාලින ධුරය අවුල් වියවුල් රාශියකින් පිරී එකක් විය. කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනය හා විවිධ හේතුන් මත ගැටීම, ක්‍රීඩකයින් නිසි අයුරින් දක්ෂතා නොදැක්වීම, සහ දිගින් දිගට ශ්‍රී ලංකා පිල ක්‍රිකට් තරඟ පරාජය වීම දිල්ශාන් ට මානසිකව දැඩි පීඩනයක් එල්ලකරන්නට විය. 



කෙසේ වෙතත් 2011 වසරේ දකුණු අප්‍රිකානු සංචාරය දිල්ශාන් ගේ නායකත්ව ධුරයේ එක්තරා සංධිස්ථානයක් බවට පත්විය. ප්‍රථම ටෙස්ට් තරඟය පරාජය වුවද ඩර්බන් හි පැවති දෙවැනි ටෙස්ට් තරඟය ජයග්‍රහණය කරමින් දිල්ශාන් ශ්‍රීලංකා ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ජයක් කරා මෙහෙයවූ ප්‍රථම ටෙස්ට් නායකයා බවට පත්විය. එමෙන්ම එම වසරේ දී ලෝර්ඩ්ස් හි පැවති ටෙස්ට් තරඟයේ දී දිල්ශාන් ඔහුගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ගණන වාර්තා කරන ලදී. ඇඟිල්ලේ ආබාධය සිදු නොවුනේ නම් එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කළ දෙවන ශ්‍රී ලාංකිකයා වීමට ඔහුට වැඩි අවස්තාවක් තිබුනත් ලකුණු 193 දී දැවී යාමට ඔහුට සිදුවිය. කෙසේ වෙතත් අදවනතුරු ලෝර්ඩ්ස් පිටියේ වැඩිම ටෙස්ට් ඉනිම රැස්කරන ලද ලාංකිකයා දිල්ෂාන් ය. දිල්ශාන් ට නායකත්වය ලැබුනේ සුදුසු අවස්තාවක නොවේ. දිල්ශාන් ගේ නොපසුබස්නා බව, තරඟයක් ජයග්‍රහණය කරන තෙක් සටන් කිරීම, පිත්තෙන්, පන්දුවෙන් අසාර්ථක වුවද පන්දු රැකීමෙන් හෝ වෙනයම් ක්‍රමයකින් ජයග්‍රහණය කිරීම (නීතියට අනුකුලව) දිල්ශාන් අන් ක්‍රීඩකයින් හා වෙනස් වුයේ එබැවිනි.

දිල්ශාන් දක්ෂ ආරම්භක පිතිකරුවෙකි.
දිල්ශාන් විශ්වාස කල හැකි මැදපෙළ පිතිකරුවෙකි.
දිල්ශාන් ඉතාමත් දක්ෂ ඉනිමක් අවසන් කල හැකි පිතිකරුවෙකි.
දිල්ශාන් පිට දඟ පන්දු යවන්නෙකි.
දිල්ශාන් පොයින්ට් ප්‍රදේශයේ මහා පවුර වැනි පන්දු රකින්නෙකි.
දිල්ශාන් ඕනෑම ස්ථානයක පන්දු රැකීමට ස්ථානගත කල හැකි අයෙකි.
දිල්ශාන් දක්ෂ නායකයෙකි.
දිල්ශාන් කඩුලු රකින්නෙකි.
දිල්ෂාන් "Street Smart" ක්‍රීඩකයෙකි.

සහ 

දිල්ශාන් දක්ෂ නළුවෙක් සහ ගායකයෙකි.

ඔහු සැබවින්ම All Rounder කෙනෙකි.

ඩිල්ස්කුප් පහර ක්‍රිකට් පොතට එක්වී අවසන්, ඔබට සුභ ගමන් ඩිලී.


#GoodByeDilscoop
#InventorOfDilsccop

#DON
27.08.2016

Comments