Friday, March 6, 2015

ක්ලයිව් ඉන්මාන් - (Clive Clay Inman)

ක්ලයිව් ඉන්මාන් - (Clive Clay Inman)

 "A slightly-built man he has a physique 
which can be put to good use for the drive or hook with power and grace 
which belies his appearance. For the sweetness of that off-drive alone, it 
is a pleasure to watch him at the crease." - Play fair Cricket Monthly Magazine

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් පාසල් ක්‍රීඩකයෙක් වශයෙන් මුල්වරට ක්‍රිකට් අත්පොත් තැබූ ක්ලයිව් ඉන්මාන් සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ටෙස්ට් ක්‍රීඩාව නුපුරුදු ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණයේ පිතිකරුවෙක් වන ඉන්මාන් ගේ දක්ෂතා මුල්වරට කරලියට එන්නේ කොළඹ සාන්ත ජෝසප් පිලට එරෙහිව වාර්ෂික ක්‍රිකට් සටනේ දී ද්විත්ව ශතකයක් (204*) වාර්තා කිරීමෙනුයි. එහි විශේෂත්වය වුනේ ඔහු කණ්ඩායමේ නායකයා වීමත් එම ඉනිම අත්හිටුවීමට හේතුවඇතිවූ අබාධය වීමත් නිසා ය. සාර්ථක පාසල් ක්‍රිකට් සමයක් ගතකල ඉන්මාන් ඉන්පසුව ශ්‍රී ලංකා (එකල සිලෝන්) පිලට ක්‍රීඩා කිරීමේ අවස්තාව හිමිකරගත්තා.


සිලෝන් පිලට ක්‍රීඩා කරමින් එක්තරා අවස්තාවක ඔහු ඇතුළු කණ්ඩායම ටෙඩ් ඩෙක්ස්ටර් විසින් මෙහෙයවු එනගලන්ත පිලට එරෙහිව ක්‍රීඩා කිරීමේ වරම හිමිවුණා. එවකට මෙවැනි ක්‍රීඩකයින්ට ස්ථීර රැකියාවක් හිමිව නොතිබූ බැවින් වයස 25 පිරෙත්ම කලමානකරණ අංශයේ රැකියාවක් උදෙසා ක්ලයිව් ඉන්මාන් එංගලන්තයට සංක්‍රමණය වුනා. ව්‍යාපාර හා ගිණුම් අංශයෙන් රැකියාවක් සොයාගත් නමුත් ඉන්මාන් ට ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව අතහැරීමට සිතුනේ නෑ.


එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියන් අතර ප්‍රමුඛ ස්ථානයක සිටි ලෙසිස්ටර්ශයර් ප්‍රාන්ත පිලේ ස්ථානයක් විවර කරගැනීමට ඔහුට හැකිවුණේ ඔහුගේ දක්ෂතා මාධ්‍ය අතරත් ප්‍රසිද්ධ වූ බැවින්.

1936 වසරේදී උපත ලැබූ ක්ලයිව් ක්ලේ ඉන්මාන් ගේ පියා වන හැරී ඉන්මාන් ද සිලෝන් කණ්ඩායමට ක්‍රීඩා කල අයෙක්. ඉන්මාන් වමතින් පිත්ත හසුරුවන්නෙක් වූ අතර එකල ලංකාවෙන් බිහිවූ දක්ෂතම වමත් පිතිකරුවා ලෙස විරුදාවලිය ලබන්නට තරම් ඔහුගේ දස්කම් ප්‍රචලිතව තිබුනා. ඉන්මාන් එංගලන්තයේ වාසය කලත් සිලෝන් කණ්ඩායමේ තරඟ සඳහා ද දායකත්වය ලබාදුන්නේ ය. ඒ අනුව ඔහු 1950 අග භාගයේදී එංගලන්ත ප්‍රාන්ත පිල වන ලෙසිස්ටර්ශයර් පිලත් සිලෝන් පිලත් එකවර නියෝජනය කරමින් දස්කම් දැක්වුවා.

1962 වසරේ සිට 1971 වසර දක්වා ඔහුගේ ප්‍රාන්ත පිල වෙනුවෙන් සෑම ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් තුලම පිතිකරණ සාමාන්‍යයෙන් මුල් ස්ථානය දිනාගත් අතර බොහෝ අවස්තාවලදී ඔහුගේ ලකුණු සීමාව දහස
ඉක්මවූවා. 1963 වසරේදී ලෙසිස්ටර්ශයර් ප්‍රාන්තයේ වර්ණ ලාභියෙක් බවට පත්වූ ඉන්මාන් ප්‍රථමවරට එම වසරේ සියලුම තරග සදහා ක්‍රීඩා කළා. තරගාවලිය අවසන් වත්ම ඔහු ලකුණු 1708 ක් රැස්කරගෙන තිබු අතර එයට එක් ශතකයක් සහ අර්ධ ශතක 13ක් ඇතුලත් වී තිබුනා. සියලුම ප්‍රාන්ත ක්‍රීඩකයින් සසඳා බැලුවිට ඔහුගේ පිතිකරණ සාමන්‍යය එංගලන්ත ටෙස්ට් ක්‍රීඩා කල වොවික්ෂයර් ප්‍රාන්තයේ මයික් ස්මිත් සහ යෝර්ක්ෂයර් ප්‍රාන්තයේ ජෙෆ්රි බොයිකොට් ට පමණක් දෙවැනි වුනා.

ක්ලයිව් ඉන්මාන් තම මංගල ප්‍රාන්ත ශතකය වාර්තා කරත්දී ඔහුගේ සහය පිතිකරු වශයෙන් කටයුතු කලේ සිලෝන් කණ්ඩායමේ තවත් පතාක යෝධයෙකු වන ස්ටැන්ලි ජයසිංහ යන අසාහාය පිතිකරුවයි. ඔවුන් දෙදෙනා කේම්බ්‍රිජ් විශ්විද්‍යාල පිලට එරෙහිව පස්වන විකට්ටුවට ලකුණු 147ක් මුල් ඉනිමේදී එක්කරමින් ලෙසිස්ටර් ප්‍රාන්ත පිල කඩලු 9ක ජයක් කරා මෙහෙයවූවා. මෙහි වඩාත් සුවිශේෂීම කරුණ වුයේ සිලෝන් පිල නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක් එකම ප්‍රාන්ත පිලක නියෝජනය කිරීම යි.

1964 සහ 1965 වසර තුල ලකුණු 1000 පසුකල ත් ඉන්මාන් ගේ ලෙසිස්ටර්ශයර් ප්‍රාන්තය කණ්ඩායම් අතරින් 14 වන ස්ථානයෙන් ඔබ්බට යාමට නොහැකිවුනා. ඕස්ට්‍රේලියාවේ රිචි බෙනෝ ගේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව තම ප්‍රාන්තය වෙනුවෙන් සුපිරි දස්කම් නිරූපනය කල ඉන්මාන් පසුකලක බොබ් සිම්සන් නායකත්වය දරමින් පැමිණි ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ලකුණු 47ක් සහ 93ක් රැස්කළා. ඔහුගේ එම දස්කම නිසා ලෙසිස්ටර්ශයර් ප්‍රාන්තය ඕස්ට්‍රේලියානු පිලකට එරෙහිව ලබාගත් ඉහලම ලකුණු ගණන )311/7 dec) 1964 දී වාර්තා කළා.

සාර්ථක 1964 වසරකින් පසු ඔහු 1965 වන වසරේ ප්‍රාන්ත තරගාවලියෙදී එසෙක්ස් පිලට එරෙහිව ලකුණු 178 ක දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කළා. එයට එක් 6 පහරක් සහ 4 පහර 29ක් අන්තර්ගත වුනා. මෙම සියලු දස්කම් දෙවන තැනට දමමින් එම වසරේ අගෝස්තු මස 18 වනදා නොටින්හැම්ශයර් පිලට එරෙහිව ලොව වේගවත්ම අර්ධ ශතකය වාර්තා කලේ සියල්ලන්ම මවිතයට පත්කරමින්. එම අර්ධ ශතකයට 6 පහර 5ක් සහ 4 පහර 5ක් ඇතුළත්වූ අතර ඔහු ඒ සඳහා වැයකලේ මිනිත්තු 8ක් පමණයි. බෝලස් යන පන්දුයවන්නාට එරෙහිව අවසන් පන්දුවේදී එක ලකුනක් ලබාගන්නා ඉන්මාන් ඊළඟ ඕවර දෙක මුහුණ දුන්නේ ලකුණු 18ක් සහ 32 වශයෙන් ලකුණු රැස්කරමින්. මේ අනුව 1938 වසරේ මිඩ්ල්සෙක්ස් පිලේ ජිම් ස්මිත් රැස්කළ මිනිත්තු 11 අර්ධ ශතකය දෙවන තැනට ඇදවැටුනා.
(මෙම වාර්තාව පළමුපෙළ නිල වාර්තාවක් ලෙස නොසලකන්නේ පන්දුයවන්නන් උපයෝගී කරන declaraton bowling යන ක්‍රියා පටිපාටිය නිසයි, එයින් අදහස් කරන්නේ අනෙක් කණ්ඩායමේ ඉනිම ඉක්මනින්ම අත්හිටුවීම උදෙසා පන්දුයවන්නන් පහසු පන්දු යවා ලකුණු ලබාදීමට සැලැස්වීමයි.)


පළමු පෙළ තරඟ මෙන්ම එකල ක්‍රිකට් ක්‍රීඩාවට නවතම ආරකින් යුතුව හදුන්වා දුන් සීමිත ඕවර තරගාවලියේදී ද ඔහුගේ සුපුරුදු දස්කම් පෙන්නුම් කළා. 1968 දී ඔහු ක්‍රිකට් ජිවිතයේ ලබාගත් ඉහලම ගෞරවය වන ලෙසිස්ටර්ශයර් ප්‍රාන්ත පිලේ නායකත්වය තරඟ දෙකක් සදහා පමණක් හිමිවුණේ එවකට එහි නායකත්වය දරා සිටි මොරිස් හලාම් අසනීප් තත්වයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකිවීම නිසාවෙනුයි. කොදෙව් සුපිරි ක්‍රීඩක ගාෆිල්ඩ් සෝබර්ස් ක්‍රීඩා කල නොටිනහැම්ෂයර් පිලට එරෙහිව තරඟ දෙකකදී ලකුණු 47ක් සහ 87 ක් රැස්කරගත් ඉන්මාන් දෙවන තරගය ජයග්‍රහණය කරා ගෙනයාම සඳහා තම පිල මෙහෙයවූවා.





වේගවත්ම අර්ධ ශතකය රැස්කරගත් තරගය -
http://static.espncricinfo.com/db/ARCHIVE/1960S/1965/ENG_LOCAL/CC/NOTTS_LEICS_CC_18-20AUG1965.html

©

05/03/2015

No comments:

Post a Comment